Tuesday, September 13, 2011

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ අතීතාවර්ජනය



ශ්‍රී ලංකාව යනු සංවර්ධිත රටක් නොවේ. සංවර්ධනය වෙමින් පවතින රටකි. නමුත් එවන් සංවර්ධනය වෙමින් පවතින අන් රටක දක්නට නොලැබෙන අන්දමේ ඉහළ සාක්ෂරතාවයකින් හෙබි බුද්ධිමත් ජනතාවක් මෙන්ම නිරෝගී ජනතාවක් ලංකාව සතුය. කරුණු කාරණා විචාරශීලීව බැලීමේ දී පෙනීයන සැබෑ සත්‍යය වනුයේ යථෝක්ත කරුණු කාරණා කෙරෙහි එක එල්ලේ බලපා ඇත්තේ ලංකාව තුළ නිදහස් අධ්‍යාපනයක් හා නිදහස් සෞඛ්‍ය සේවාවක් පැවතීම බවය.

    අනාගත සංවර්ධනය උදෙසා නිදහස් අධ්‍යාපනය ඉවහල් වන ආකාරය දුටු ලාංකීය දේශපාලනයේ බුද්ධිමත් චරිතයක් වූ සී.ඩබ්.ඩබ්.කන්නන්ගර විද්වතාණන් ලංකාව තුළ නිදහස් අධ්‍යාපනය ස්ථාපනය කිරීමේ යෝජනාව ගෙන ආවේය. අධිරාජ්‍ය ගැති ඉහළ පංතියේ මැති ඇමතිවරුන්ගේ හා ඉහළ නිලධාරීන්ගේ විවේචන හා විරෝධතා මත වුවද එම යෝජනාව සම්මත වී ලංකාවේ සතර දිග්භාගයේ වෙසෙන දරුවන්හට නිදහස් අධ්‍යාපනයේ සම අයිතිය හිමි විය. ගොවි, කම්කරු ආදී ලෙස වර්ගීකරණය කර ලංකාවේ ශ්‍රම බලකාය බවට පමණක් පත්කොට තිබූ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් හට ද වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ ආදී ඉහළ ධනපති පංතියට පමණක් සීමා වී තිබූ රැකියාවල නිරතවීමේ ඉඩ ප්‍රස්ථා විවර විය. තම දෙමව්පියන්ගේ දහඩිය කඳුළුවලට පිංසිදුවන්නට එවැනි වෘත්තියක් කරා ආ එම දරුවන් හට තමන්ගෙන් රටට ඉටුවිය යුතු සේවාව පිළිබඳ මනා අවබෝධයක් විය. තමා ලැබූ නිදහස් අධ්‍යාපනයට කෘතගුණ සැලකීමක් ලෙස තමාගේ අවංක සේවය රටට ලබාදිය යුතුය යන වගකීම ඔවුන් තුළ විය. එබැවින් ඔවුන් නියැලුණු වෘත්තියන්ගේ ගුණාත්මකභාවය ද ඉහළ විය. ලංකාවට ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ද උරුම විය.

    එහෙත් සංවර්ධිත රටවල් හා බැදුණු විජාතික බලවේග ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටක් දියුණු වනු දැකීම කිසි විටකත් අපේක්ෂා නොකළහ. ඔවුන්ගේ නිෂ්පාදිත වෙළඳාම් කිරීමට නම් තුන්වෙනි ලෝකයේ රටවල්, තුන්වෙනි ලෝකයේ රටවල් ලෙසම පැවතිය යුතුය. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය ශ්‍රම බලකාය අඩු මුදලකට ලබා ගැනීමටද තුන්වෙනි ලෝකයේ අධ්‍යාපනය අහිමි නූගත් ජනතාවක් සිටිය යුතුය. එහෙයින් ඔවුන් ඒ සඳහා ඇම වශයෙන් යොදාගත් දේශද්‍රෝහී ලාංකිකයන් එදා සිටම අර ඇද්දේ මෙකී නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය ලංකාව තුළින් අතුගා දමමින් විජාතික බලවේගවල මනදොල සංසිදවීමටය. මන්ද ලංකාව තුළ සංවර්ධනයෙහිලා නිදහස් අධ්‍යාපනය සෘජුව බලපාන්නේ යම් සේද ලංකාවේ සංවර්ධනය ඇදවැටීමෙහි ලා එම කප්පාදු කිරීම සෘජුවම බලපාන බව එකී විජාතික බලවේග අවබෝධ කරගෙන සිටියේ ය. එබැවින් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ අභිලාෂය ඔවුන් සතු විය.

    මෙය හොදින් විද්‍යාමාන වන මුල්ම අවස්ථා ලෙස 1981 වසරේ දෙසැම්බර්යේ දී එවකට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහන් ධවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දැක්විය හැකිය. එම අධ්‍යාපනික ධවල පත්‍රිකාවේ වගන්ති ක්‍රියාත්මක විණි නම් ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් ඉතිරි නොවන බව නොඅනුමානය. එය මුළුමනින්ම පෞද්ගලික අංශයේ ව්‍යාපාරික බූදලයක් වනු නිසැකය. නමුත් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ප්‍රමුඛ මහජන බලවේගවල දැඩි විරෝධතා හමුවේ අධ්‍යාපන ධවල පත්‍රිකාව හකුලා ගැනීමට එවකට පැවති රජයට සිදු විය.

    ඔවුන්ගේ ඊලග වෑයම ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය විය. මන්ද “පාසලත්, විශ්ව විද්‍යාලයත් අතර විශාල වෙනසක් තිබෙනවා. විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නේ වැඩිහිටි සිසුන්. ලෝකයේ ගමන් මග වෙනස් කරන්නේ විශ්ව විද්‍යාල වලින් පමණයි.” (මහාචාර්ය විශ්වා වර්ණපාල, උසස් අධ්‍යාපන ඇමති, පිටු අංක 05, ලංකාදීප, 2009 පෙබරවාරි මස 04 වන බදාදා.) ඔවුන්ට අවශ්‍ය වූයේ එකී ගමන්මග වෙනස් කරන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තුළට සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාවට ඇතුළු වීමේ ඉඩ ප්‍රස්ථාව අහිමි කරවීමයි. ඒ සඳහා සුදුසුම මාර්ගය උසස් අධ්‍යාපනයට මුදලක් නියම කිරීම බව තේරුම් ගත් අත්තනෝමතික පාලක පංතිය ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල හඳුන්වාදීමේ සූක්ෂම වැඩපිළිවෙලකට අතපෙවූහ. මන්ද එතුළින් අහිමි වන ඉඩ ප්‍රස්ථාව තුළ ගොවි, කම්කරු දෙමව්පියන්ගේ දරුවන් ද, ගොවි කම්කරුවන් ලෙසම තබා ලංකාව නැටවීමේ නූල ඔවුන් අතට ගැනීමේ හැකියාව ලැබෙන බැවිණි.

    මේ කරුණු කාරණා මත 1981 වසරේ දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරටට හඳුන්වා දීම ක්‍රියාත්මක විය. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (NCMC)  නම්න් රාගම ශික්ෂණ රෝහල අසල රජයේ ඉඩමක ඇරඹි මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, වෛද්‍ය උපාධිය මුදලට විකිණීම රාජ්‍ය අනුග්‍රහය යටතේම ක්‍රියා කරවන්නට යෙදුනි. අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබා වෛද්‍ය පීඨයට ඇතුළු වීමට ලාංකීය නිදහස් අධ්‍යාපනය භුක්ති විදින ඕනෑම සිසුවෙකුට තිබූ අවස්ථාව පුද්ගලයෙකුගේ ආර්ථික හැකියාව මත තීරණය කරන්නට යෙදුණි.

    එහෙත් එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වැඩි කලක් කරළියේ රඟන්නට අවස්ථාව නොලැබුණි. මන්ද ලාංකීය නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳි ලාංකික දූ පූතුන්ගෙන් සැදුම් ලත් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැන්ත සිසු විරෝධතාවයක් දියත් කළේය. එම අරගල මර්දනය කිරීමට එවකට පැවති ඒකාධිපති රජය ක්‍රියාත්මක වූ අතර ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හැරියේය. තරුණ ජීවිත දහස් ගණනක් රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරක්ව රටට අහිමි විය. වෙනුර එදිරිසිංහ, ත්‍රීමා විතාරණ වැනි ලක්මවගේ ශ්‍රේෂ්ඨ දූපුතුන් ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරකිනු වස් තම දිවි පූජා කළහ. මෙකී ලේ වැගිරීම් දිවි තොර කිරීම් හමුවේ වුව ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ජය ගත්තේ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාගම වෛද්‍ය පීඨය නමින් කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව ජනසතු කර ගැනීමෙනි.

    නමුත් යථෝක්ත විජාතික බලවේගද ඔවුන්ගේ ලාංකික හෙන්චයියන් ද එයින් නිහඩ වූයේ නැත. මන්ද ඔවුන්ගේ අභිලාෂයන් මුදුපත් කර ගැනීමේ දීන ආශාව තුළ දහසකුත් බලාපොරොත්තු, වූ බැවිණි. එබැවින් ඔවුන් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඊලග පියවරට අතගැසුවේය. ලංකාව තුළ පෞද්ගලික පාසල් බිහි කිරීම තුළින් ලංකාවේ නිදහස් අධ්‍යාපනයට ඉඩ ප්‍රස්ථාව අහිමි කිරීම ඔවුන් ගේ ඊලග පියවර විය. එතුළින් ලාංකීය සංස්කෘතිය ද සදාචාරය ද පිරිහීමේ ලක්ෂ්‍යයක් ඇති විය. එමෙන්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංකල්පය ද නැවත නැවතත් හිස එසවූයේය. එහි අවස්ථාවන් ලෙස විමසා බැලීමක් කළ හොත්ත

01.    1981 යාපනයේ “උතුරු ලංකා” පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය

02.    1997 දී එංගලන්තයේ “ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය”ට අනුබද්ධිතව නාරාහෙන්පිට පිහිටු වීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය. 

03.    1999 දී ඉන්දීය  “රාමචන්ද්‍රන් විශ්ව විද්‍යාලය” ට අනුබද්ධිතව පිහිටුවීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය.

04.    2002 දී “ටැන්සානියාවේ විග්නන් විශ්ව විද්‍යාලය” ට අනුබද්ධිතව පිළියන්දල පිහිටු වීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය.

05.    2005 දී ඉන්දියාවේ “විනයාකමිෂන්” පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ලංකාවේ OASIS පෞද්ගලික රෝහල සමග පිහිටුවීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය. 

06.    2006 දී “විග්නන්” පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නැවත පිහිටුවීමට උත්සාහ කිරීම (මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන්)


    මේ සියළු අවස්ථාවලදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වශයෙන් ඒකරාශී වූ ලාංකීය වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාව එයට විරුද්ධව ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙය විය. අනෙකුත් ශිෂ්‍ය බලවේග වෘත්තීය සමිති, පොදු ජන සංවිධාන හා ජනතාවගේ සහයෝගය ලබා ගනිමින් එම සියළු අවස්ථාවලදී ජයග්‍රහනය ලැබීමට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සමත් විය. 1981 හා 1991 අතර කාලයේ දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීමටත් එමෙන්ම අධ්‍යාපනය පෞද්ගලීකරණයටත් එරෙහිව හඩ නගා රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරක්ව රටට අහිමි වූ ඒ අතීත විරු සිසු සිසුවියන් මෙරට සමාජ දේහය තුළ ඇති කළ කම්පනය තවමත් නොනැසී පවතින බව අපට වැටහෙන්නේ පසුකාලීනව ඇරඹීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය අරගලය නිසා ඉක්මනින්ම හකුලාගත් නිසාය. අප අද භුක්ති විදින නිදහස් අධ්‍යාපනය අපට රැක දුන්නේ එම විරු සිසුන් බව අප අදටත් සිහි කළ යුතුය.

    එහෙත් විජාතික බලවේග ද තවමත් අධෛර්යමත් වී නැත. ඔවුන්ගේ නවතම අභිලාෂය වී ඇත්තේ මාළඹේ නගරයට යාබදව නව නුවර පාර මාළඹේ යන ලිපිනයේ South Asian Institute of Technology and Management යන නමින් ස්ථාපනය කර ඇති පෞද්ගලික විශ්ව විද්‍යාලයයි. එහි Nishny Norgorod State Academy of Medicine යනු රුසියානු උසස් අධ්‍යාපන ආයතනය හා එක්ව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අරඹා තෙවන ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගනිමින් පවතී.

    විජාතික බලවේග ද දේශද්‍රෝහී කැණහිලුන් ද නිදහස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරමින් තම දීන පරමාර්ථයන් මුදුන් පත් කර ගැනීමට වෙර දරන්නේ යම් සේද ඔවුන් සිහියේ තබාගත යුතු දෙයක් ඇත. එනම් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය තවමත් අවදියෙන් ඇති බවය. ලේ වැගිරීම් දිවි තොර කිරීම් හමුවේ වුව නිදහස් අධ්‍යාපනය උදෙසා පෙළ ගැසී ඇති, අතීත විරුවන්ගේ අඩිපාරේ යන වර්තමාන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයක් ඇත. මින් එක් පාර්ශවයක් ලෙස වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇත. එදා මෙන්ම අදත් බහුතර ජනමතය අප සමගය. තම දුවා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය පිළිබඳ මනා වැටහීමක් ඇති තම මුදලින් ලාංකීය නිදහස් අධ්‍යාපනය පෝෂණය කරන සැබෑ ලාංකික ප්‍රජාව තවමත් අප සමගය. ඉදින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යනු ලාංකීය අවශ්‍යතාවයක් නොව ආත්මාර්ථකාමී යම් රූකඩ චරිත හා පාර්ශව වල පෞද්ගලික අවශ්‍යතාවයක් වන බව අප ද මහජනතාව ද තේරුම්ගෙන හමාරය. තම දෙපා මහපොළව මත ඇති බවද තමාට ලක්බිමේ සෙනෙහස දැනෙන බවද පවසන ලාංකික දේශපාලනයට ද ලංකාවේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ සැබෑ කැක්කුමක් නැති බව පෙනෙන්නේ විජාතික බලවේග හමුවේ ඔවුන් රූකඩ වී ඇති නිසාම ද නොඑසේ නම් රටට පෙර තමා ගැන සිතන නිසාම ද? යන්න අපහට මෙතෙක් නොවැටහෙන කරුණකි.

    කෙසේ නමුදු අප හා මේ වන විට එක්ව ඇති සියළුම වෛද්‍ය සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් පෙරටු කොට ගත් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සහ  මහජන බලවේග හමුවේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලය ද සිහිනයක් මිස යථාර්ථයක් නම් නොවන්නේමය

1 comment: