Tuesday, September 13, 2011

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අප එරෙහි විය යුත්තේ ඇයි?

                                        
Ketan Desai යනු එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඔහු අපේ ආසන්නතම අසල්වැසියා වන ඉන්දියාවේ සමස්ත වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව වගකීම උසුලන ඉන්දියන් වෛද්‍ය සභාවේ Medical Council of India (MCI) හා ඉන්දියානු වෛද්‍ය සංගමයේ Indian Medical Association (IMA) හි ප්‍රධානියායි. ඔහු පසුගිය අප්‍රේල් මස 22 වන දින ඉන්දීය මධ්‍යම විමර්ෂණ කාර්යාංශය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. ඒ උතුරු ඉන්දියාවේ Patilala නගරයේ ඉදි කර ඇති කිසිඳු පහසුකම් වලින් තොර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට අවසර ලබා දීමට අල්ලස් ගනිමින් සිටින අවස්ථාවකදීය. මුදල ඉන්දියන් රුපියල් මිලියන 20 කි. (British Medical Journal 2010; 340: C2355). මේ ඔහුට දූෂණ චෝදනා එල්ල වූ ප්‍රථම අවස්ථාව නොවේ.


2001 වසරේදීද Ketan Desai ට මෙම චෝදනාවම එල්ල විය. ඒ වන විටත් ඔහු MCI හා IMA හි ප්‍රධානියාය. එහිදී ඔහුට ඔහුගේ බිරියට හා දරුවන්ට අයිති බැංකු ගිණුම් වල තිබූ ඉන්දියන් රුපියල් මිලියන 6.5 ක මුදල උපයා ගත්තේ කෙසේදැයි Ketan Desai ට ඉන්දීය අධිකරණය හමුවේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කළ නොහැකි විය. අධිකරණය තීරණය කළේ ඔහු MCI හා IMA හි මුල් පුටුවෙන් ඉවත් කළ යුතු බවයි. නමුත් ඔහු වටා සිටි දේශපාලනඥයින්ගේ බල මහිමයෙන් තම ධූරයත් රැක ගත් Ketan Desai පසු ගිය අප්‍රේල් මාසයේදී එම චෝදනාවටම නැවත වතාවක් අත්අඩංගුවට පත් වන තෙක් ඉන්දීය වෛද්‍ය සභාවේ හා ඉන්දී්‍ය වෛද්‍ය සංගමයේ මුල් පුටුව හෙබවීය. (British Medical Journal 2001; 323: 1385)     පසු ගිය දශක කීපය තුළ ඉන්දියාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රාශීයක් බිහි විය. ඒවා අතර බහුතරයක් වෛද්‍යවරයෙක් බිහි කිරීමට නොව උපස්ථායකවරුන් බිහි කිරීමටවත් සුදුසු නොවූ භෞතික හා මානව සම්පත් ඌනතාවයෙන් යුක්ත වූ වෛද්‍ය උපාධිය විකුණන “කඩ” පමණක් විය. මේවාට අවසර ලබා දීම ඉන්දියානු වෛද්‍ය සභාවේ වගකීම විය. මෙහිදී නිසි ප්‍රමිතියෙන් තොර මේවාට අවසර ලබා දීමේදී අත යට විශාල මුදල් ගනු දෙනු සිදු විය. ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ මෙම තත්වය පැහැදිළිව දැකිය හැකිය. එහි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල දැඩි අධ්‍යයන හා අනධ්‍යයන සේවක හිඟයක් ඇත. සායනික පහසුකම් සඳහා අවශ්‍ය කරන රෝගීන්ගෙන් තොර රෝහල් වල සායනික පුහුණුව ලබා දේ. (British Medical Journal 2004, 328: 70)   


 මේ අපේ අසල්වැසියාගේ තත්වයයි. අපේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම තහවුරු කිරීම සඳහා ආණ්ඩුව බොහෝ විට උදාහරණ ලබා ගන්නේ බටහිර රටවල් වලිනි. මෙම රටවල මෑත කාලීන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන නිරීක්‍ෂණයේහිදී පෙනී යන්නේ ජනතාවගේ සුබසාධනය සඳහා අවශ්‍ය වන සෞඛ්‍ය, අධ්‍යාපනය බඳු ක්ෂේත්‍ර පෞද්ගලීකරණය නොකර ඒ කෙරෙහි වූ රාජ්‍ය මැදිහත් වීම තව දුරටත් තබා ගත යුතු බවට මතවාදයක් ඒ සමාජ වල දැන් දැන් මතු වෙමින් තිබෙන ආකාරයයි. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය යනු අවස්ථා වැඩි කරන ඵලදායී ක්‍රමයක් නොව අසාධාරණ ලෙස දක්ෂයින්ට අවස්ථාවන් අහිමි කරවන අධ්‍යාපනය වරප්‍රසාද ලත් පංතියට පමණක් සීමා කරන විනාශකාරී ක්‍රමයක් බව බටහිර විද්වතුන්ගේ අළුත්ම පිළීගැනීමය. බ්‍රිතාන්‍යයේ වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් එහි නූතන වෛද්‍ය අධ්‍යාපනය කළ පර්යේෂණයක ප්‍රතිඵල British Medical Journal ජාත්‍යන්තර සඟරාවේ පසුගිය කලාපයක පළ වී තිබුණි. එම පර්යේෂණයේ ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් ඔවුහු මෙසේ තම නිගමන ඉදිරිපත් කර තිබුණි.There are wide disparities in medical school admission by social class. (විවිධ සමාජ පංති වලට අනුව වෛද්‍ය විද්‍යාල වෙත ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාවන් අතර විශාල අසමාන බවක් දක්නට ලැබුණි)Widening participation initiatives in medicine have so for limited impact. (වෛද්‍ය විද්‍යාව සඳහා ඇති අවස්ථා පුළුල් කිරීමට මේ දක්වා දැරූ ප්‍රයත්නයන් ඉටු කර ඇත්තේ සීමිත වූ බලපෑමක් පමණි)School pupils from working class backgrounds see medical school as distant, unreal and culturally alien. (කම්කරු පවුල් වල සිසු සිසුවියන් වෛද්‍ය විද්‍යාල දුටුවේ තමන්ගෙන් දුරස්ථ වූ යතාර්ථවාදී නොවූ හා තමන්ටම ආගන්තුක වූ අධ්‍යාපන ආයතන ලෙසයි)     මේ නිගමන වලටත් ඉන්දියානු වෛද්‍ය සභාවේ හා වෛද්‍ය සංගමයේ ප්‍රධානියාගෙන් එම දූෂිත හැසිරීමට හේතුව කුමක්ද? ඒ සැමට සමාන ලෙස හා සාධාරණ ලෙස හිමි විය යුතු “අධ්‍යාපනය” මුදල මත තීරණය වීමීට ඉඩ හැර තිබීමයි. එනම් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමයි. අප අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහි වන්නේ මේ නිසාය.     මේ වන විට සමාජයේ සියළුම පුද්ගලයින්ගේ බොහෝ අයිතීන් එම පුද්ගලයින්ගේ අත මිට සරු බව අනුව හෙවත් ආර්ථික තත්වය මත තීරණය වී ඇත. පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම, වඩා හොඳ ප්‍රවාහන සේවයක් ලබා ගැනීම, හොඳ චිත්‍රපටයක් රසවින්දනය කිරීම ආදී සියල්ලම තීරණය කරන තීරණාත්මක සාධකය මුදල්ය. නමුත් තවමත් කිසිඳු භේදයකින් තොරව කෙනෙකුට එකම එක “අයිතියක්” භුක්ති විඳීමේ හැකියාව ඉතිරිව ඇත. ඒ අධ්‍යාපනය ලැබීමයි. අප වෛද්‍ය පීඨයට පැමිණ ඇත්තේ ඒ මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබමිනි. අප රටෙහි තවමත් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය මුදල මත තීරණය නොවී සෑම දෙනාටම සමාන ලෙස ලැබෙන ක්‍රමයක් පවතී. ඒ “නිදහස් අධ්‍යාපනය” යි.    


ලෝකයේ බොහෝ රට වල ජනතාවට එම නිදහස් අධ්‍යාපන අයිතිය හිමි නැත. අපේ රටේද අනෙක් සෑම ක්ෂේත්‍රයක්ම පෞද්ගලීකරණ රකුසා විසින් ගිලගෙන තිබේ. අප රට තුළ “අධ්‍යාපනය ලබන්නන්” හැර දුප්පත් ජනතාව දස දහස් ගණනක් පෞද්ගලීකරණය කරන ලද සේවාවන් නිසා පීඩාවට පත් වී සිටිති.     වර්තමානයේදී එම අයිතියද අපෙන් උදුරා ගරනීමට අපේ රටේ ආණ්ඩු කටයුතු කරමින් සිටී. ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා විශ්වවිද්‍යාල ඇති කිරීම හරහායි. මේ වන විට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අරඹා එහි තුන් වන ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගනිමින් සිටියි. තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රාශියක් ඇරඹීමේ පිඹුරු පත් සකස් කරමින් පවතී. ආණ්ඩුව මේ සිදු කරන්නේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව අප සියළු දෙනාටම සමාන ලෙස භුක්ති විඳීමට තිබෙන නිදහස් අධ්‍යාපන අයිතිය අහිමි කිරීමයි. අධ්‍යාපනය ලැබීම මුදල් ඇති පිරිසකගේ වරප්‍රසාදයක් බවට පත් කිරීමයි.පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට අදාළව ආණ්ඩුවේ තර්ක,


* පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම මඟින් උසස් පෙළදී සරසවි යාමට ලකුණක්, දෙකක් මදි වූ දක්‍ෂ සිසුන්ට උපාධියක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ.     සරසවි ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු නිකුත් කළ පසු ලකුණු කිහිපයක් මදි වීමී නිසා සරසවි යාමට නොහැකි නමුත් දක්‍ෂ සිසුන් බොහෝ ගණනක් සිටින බව සැබෑය. නමුත් ඔවුන්ට අවස්ථාවක් දීම සඳහා යැයි පවසමින් ආණ්ඩුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගෙන ඒම ඊට කිසිඳු විසඳුමක් නොවේ. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වීමේ එකම සුදුසුකම එම උපාධියට නියම කර ඇති මිල ගෙවීමේ හැකියාව මිස දක්‍ෂතාවය නොවේ. සරසවි ප්‍රවේශයට ලකුණක් දෙකක් මදි වූ සිසුන් උසස් පෙළදී පෙන්වූ කුසලතාවයේ අනුපිළිවෙල මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඇතුල් වීමේදී සලකා බලන්නේ නැත. මීට පෙර රාගම පිහිටුවා තිබූ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උසස් පෙළ අවම සුදුසුකම් සපුරා නොතිබුවත් (ලකුණු 180), භෞතික විද්‍යාව වැනි ඇතැම් විෂයන් අසමත් වුවත් සහ උසස් පෙළ සඳහා සෞන්දර්යය, ගෘහ විද්‍යාව වැනි විෂයන් හැදෑරූ සිසුන්ද හොර රහසේ ඇතුළත් කර තිබූ බව මෙයට කදිම සාක්‍ෂියකි. මෙලෙෂ මූලික සුදුසුකම ලෙස මුදල් මත පදනම්ව අරඹනු ලබන වෛද්‍ය විද්‍යාලයක් මඟින් කෙරෙනුයේ එම ලකුණු මදි වූ සිසුන්ට සාධාරණය ඉටු වීම නොව අතිශය බහුතර ශිෂ්‍ය පිරිසකට බරපතළ ලෙස අසාධාරණයක් සිදු කිරීමය. ඔවුන්ගේ මූලික මානව අයිතියක් වන අධ්‍යාපනයෙහි සමාන අවස්ථා අහිමි කිරීමයි. මේ නිසා තවත් දක්‍ෂ සිසුන් පිරිසකට සරසවි වරම් ලබා දීමට නම් කළ යුත්තේ උපාධි කඩ ඇරඹීම නොව නිදහස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කොට සරසවි බඳවා ගැනීම් තවදුරටත් වැඩි කීරීමයි.


* විදේශ උපාධි ලබා ගැනීම සඳහා විදේශ ගත වන සිසුන්ගෙන් වැය වන මුදල් අප රටේ රඳවා ගැනීම.     මෙය ඉතාමත් බොළඳ තර්කයකි. ආයෝජන මණඩලයෙන් ලබා දෙන බදු සහන පදනම් කරගෙන විදේශීය ආයතන මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹන්නේ අපට මුදල් ඉතිරි කර දීමට නොවේ. ඔවුන් මීයක් කඩන්නේ අත ලෙවකෑමට නොව මී පැණි රැගෙන යාමටයි. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ගෙවිය යුතු කර්තෘ භාගය, විදේශ සේවා යෝජකයින් සඳහා වැටුප් ආදී ක්‍රම රැසකින් විදේශ විනිමය පිට රටට ඇදී යනු ඇත. අනික් අතට විදෙස් රටක අධ්‍යාපනය හැදෑරීමට යන බොහෝ සිසුන් අධ්‍යාපනය හදාරන අතරතුර අමතර රැකියාවකද නියුතු වෙයි. මේ නිසා එම රටවල් වලදීම හම්බකර එහිදීම වියදම් කළ විට ලංකාවෙන් මුදලක් විදෙස් රට වලට ඇදී නොයයි. එම නිසා ආණ්ඩුව කියන තරම් ප්‍රමාණයක් වැය නොවේ. එම වැය වන ප්‍රමාණය වසරකට රුපියල් මිලියන 5000 ක් බව ආණ්ඩුව පවසයි. නමුත් අප රටට වසරකට සීනි රුපියල් මිලියන 20 000 කද, කිරි පිටි ආශ්‍රිත නිෂ්පාදන රුපියල් මිලියන 19 000 කද, ටින් මාළු රුපියල් මිලියන 15 000 කද ගෙන්වයි. එපමණක් නොව අඹ, පේර, බඩඉරිඟු, කුරක්කන් පවා ගෙන්වයි. ඒවාට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරයි. ඒ ඉහත ද්‍රව්‍ය අප රට තුළ නිෂ්පාදනය කිරීමට හැකි විභවයක් මෙහි පවතිද්දීය. ඒ සඳහා කිසිම සැලසුමක් නොමැති ආණ්ඩුව අධ්‍යාපනය විකිණීම සාධාරණීකරණය කරන්නේ එම රුපියල් මිලියන 5000 ක් ගැන කිඹුල් කඳුළු හෙළමිනි.


 * පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම මඟින් පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය අතර තරගයක් ඇති කර ඵලදායී ප්‍රතිඵල ලබා ගැනීම.      තරගය තුළින් ඵලදායී ප්‍රතිඵල ලබා ගැනීම අධ්‍යාපන විෂයෙහි සත්‍ය වුවත් බඳවා ගැනීම් හා පාලනාධිකාරීන් අතින් සහමුලින්ම වෙනස් රජයේ හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතර තරගයක් ඇති කළ නොහැක. කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් හම්බ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලත්, නිරන්තර මුදල් කප්පාදුවට ලක් වන රජයේ වෛද්‍ය පීඨත් අතර තරගයක් ඇති කිරීම හාවාටත් ඉබ්බාටත් දුවන්නට සලස්වා වඩා වේගවත් කවුරුන්දැයි සෙවීම බඳුය.(ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2009)     ඉහත දැක්වෙන්නේ අධ්‍යාපනය සඳහා ද.දේ.නි. වෙන් කළ මුදල වසරින් වසර අඩු වූ ආකාරයයි. එම නිසා මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල හා රාජ්‍ය විශ්වවිද්‍යාල තරගයකට දැමීම තුළින් බලාපොරොත්තු විය හැක්කේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටීම පමණි.


* ලංකාවේ පවතින බටහිර වෛද්‍ය හිඟය නැති කිරීම සඳහා වැඩියෙන් වෛද්‍යවරු පුහුණු කිරීමට රජයට නොමැති කම     මේ වන විට අප රටේ බටහිර වෛද්‍යවරු 13 633 ක් පමණ සේවයේ යෙදෙති. පුද්ගලයින් 1500 කට පමණ එක් වෛද්‍යවරයෙක් සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකය වන්නේ පුද්ගලයින් 280 කට එක් වෛද්‍යවරයෙක් සිටිය යුතුය යන්නයි. එම නිසා රටේ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව අඩු බව අවිවාදිතය. එම වෛද්‍යවරුන්ගේ හිඟයට වගකිව යුත්තේ කවුද? වෛද්‍ය ශිෂ්‍යයින් බඳවා ගැනීම සීමා කර ඇත්තේ ආණ්ඩුවයි. අප පවසන්නේ උපරිම පිරිසක් බඳවා ගන්නා ලෙසයි. ඒ නිසා මුදල් ප්‍රතිපාදන කපා දමා නිදහස් අධ්‍යාපනය හකුළුවා සුළු පිරිසක් පමණක් බඳවා ගැනීම නිසා අප රට තුළ පවතින වෛද්‍යවරුන්ගේ හිඟයට වගකිව යුත්තේ ආණ්ඩුව බව පැහැදිළි වේ. නමුත් විසඳුම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලද? නැත. දැනට වෛද්‍ය පීඨ නොමැති විශ්වවිද්‍යාල වල අළුතින් වෛද්‍ය පීඨ ඇරඹිය හැකිය. පවතින වෛද්‍ය පීඨ වලට භෞතික හා මානව සම්පත් වැඩිපුර ලබා දී වැඩි ශිෂ්‍ය ප්‍රජාවක් බඳවා ගත යුතුය. අප රටේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට ආණ්ඩුවට අවංක උවමනාවක් ඇත්නම් කළ යුත්තේ එයයි. නමුත් ආණ්ඩුව පවසන්නේ ඒ සඳහා මුදල් නොමැති බවයි. අපට ඒ කාරණය සම්බන්ධයෙන් නම් කොහෙත්ම එකඟ ඵීය නොහැකිය. මේ නිසා කළ යුත්තේ ආණ්ඩුවේ වංචා, දූෂණ, හොරකම්, නාස්තිය අඩු කර අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණය ඉහළ දැමීමයි. 2006 වසරේ ඣඡෑ වාර්තාවෙන් හෙළි වූ ආණ්ඩුවේ හොරකම රුපියල් බිලියන 150 කි. ඒ වසරේම මුළු විශ්වවිද්‍යාල පද්ධතියට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 7 ක් පමණි. හොරකම් ප්‍රමාණයෙන් 10% ක් පමණ නැවැත්වුවහොත් විශ්වවිද්‍යාල වලට වෙන් කරන මුදල දෙගුණයකින් වැඩි කළ හැකිය.


* නිදහස් අධ්‍යාපනය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය පාසල්, රාජ්‍ය විශ්වවිද්‍යාල වසා නොදමා පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම නිදහස් අධ්‍යාපනය නැති කිරීමක් නොවේ.      මේ, ආණ්ඩුවේ ප්‍රධාන තර්කයයි. නමුත් ප්‍රවාහනය, රක්‍ෂණය හා අනෙකුත් ක්‍ෂේත්‍ර පෞද්ගලීකරණය කරන අවස්ථාවේදීද එකල ආණ්ඩු පැවසුවේ මෙවන් කථාවකි. නමුත් දැන් සිදු වී ඇත්තේ කුමක්ද? පෞද්ගලික බස් රථ සේවාවට ඉඩ දෙන විට “ලංගම” සම්පූර්ණයෙන් වසා දැමුවේ නැත. පෞද්ගලික රෝහල් වලට ඉඩ දෙන විට රජයේ රෝහල් සීල් තැබුවේ නැත. නමුත් පෞද්ගලික බස් රථ වලට ඉඩ දීමට සමාන්තර ලෙෂ රාජ්‍ය ප්‍රවාහනය දුර්වල කරන ලදී. අමතර කොටස් ගෙන ආවේ නැත. හොරකම් වංචා දූෂණ වැළැක්වූයේ නැත. අළුත් බස් රථ ගෙන ආවේ නැත. අප ප්‍රවාහනයේ ඒකාධිකාරය හිමි වී ඇත්තේ පෞද්ගලික අංශයටයි.     අද රෝහල් වල ඖෂධ නොමැත. සේලයින් පවා රැගෙන එන්නේ පිටතිනි. ශල්‍යකර්ම කිරීම සඳහා අවශ්‍ය උපකරණ නොමැත. ගෝස් හිඟය නිසා බොහෝ රෝහල් වල ශල්‍යකර්ම ඇණහිට ඇත. සමහර රෝහල් වල පැරසිටමෝල් පවා නොමැත. ඒ රාජ්‍ය සෞඛ්‍ය සේවයේ තත්වයයි. නමුත් සියළු පහසුකම් සහිතව පෞද්ගලික රෝහල් යෙහෙන් වැජඹේ.     මේ නිසා ආණ්ඩුව ලංකාවේ රාජ්‍ය පාසල් වලටත්, විශ්වවිද්‍යාල වලටත් කරමින් සිටින්නේ එදා ලංගමට කරන ලද දේම නොවේද? ප්‍රතිපාදන කප්පාදුව, විභාග ගැටළු, පිඨමාලා නවීකරණය නොකිරීම, ආචාර්ය හිඟය වැනි ගැටළු විසඳීමට කිසිදු සැලකිල්ලක් නොදක්වන ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල ගෙන එන්නේ අධ්‍යාපනයේ රාජ්‍ය පංගුව දුර්වල කරමිනි. එම නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම යනු නිදහස් අධ්‍යාපන අයතිය අහිමි කිරීම බව අප තේරුම් ගත යුතුය.


* අධ්‍යාපනය නිකම් දුන් විට අගයක් නැත. එසේ ලබා දෙන සේවයට මුදල් අය කිරීම ගැටළුවක් නොවේ.      නිදහස් අධ්‍යපනය යනු කිසිසේත් නොමිලයේ අධ්‍යාපනයක් නොවේ. නිදහස් අධ්‍යාපනයට මුදල් යොදවන්නේ ජනතාව විසින් රජයට ගෙවන බදු මුදල් වලිනි. මේ නිසා අපගේ දෙමව්පියන් ඇතුළු අප සැම මේ ලබන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මිලක් ගෙවා ඇත. ඒ නිසා අප දැන් ඉල්ලා සිටින්නේ ඒ ගෙවූ මිලට සරිලන සේවාවයි. සැබෑ ලෙසම ගතහොත් මෙම අධ්‍යාපන ක්‍රමය “පෙර ගෙවුම්” (pre paid) අධ්‍යාපන ක්‍රමයකි.


* ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම සිටින්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලය. එම නිසා ශ්‍රේණිගත කිරීම් වල ඉහළටම ගමන් කිරීමට නම් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹිය යුතුය.     මේ තර්කයට අනුව අප රටේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වල ඉහළම තැනක නැත්තේද ඒවා පෞද්ගලීකරණය කර නැති නිසාය. අප රටේ අධ්‍යාපනය හැරුණු විට අනෙකුත් බොහෝ ක්‍ෂේත්‍ර පෞද්ගලීකරණය කර ඇත. උදාහරණයක් ලෙස අප රටේ ප්‍රවාහනය ගනිමු. එය පෞද්ගලීකරණය කර ඇත. එසේ නම් එය ලෝක ප්‍රවාහන වර්ගීකරණයේ කුමන ස්ථානයේ ඇත්දැයි අපි විමසමු. පෞද්ගලීකරණය කළ අප රටේ ප්‍රවාහන සේවය ලොව ශ්‍රේණිගත කිරීම් වල ඉහළ මට්ටමක ඇත්ද? නැත. එසේ නම් ලංකාවේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වල ඉහළම නොමැත්තේ පෞද්ගලීකරණය නොකර, පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹා නැති නිසා යැයි පැවසීම තකතීරු කථාවක් නොවන්නේද? එම රට වල ඉහළින් ඇත්තේ විශ්වවිද්‍යාල පමණක් නොවේ. ආර්ථිකය ඉතා දියුණුය. සංවර්ධනය වේගවත් මට්ටමක පවතී. විශාල නිෂ්පාදන ක්‍රියාවළියක් හා ඉලක්ක සහගත සංවර්ධනයක් කරා ඉදිරියට ගමන් කරමින් සිටී. ඒ නිසා විශ්වවිද්‍යාල විශාලය, දියුණුය. නමුත් අප අපගේ ආර්ථික සංවර්ධනය පිළිබඳව හෝ නිෂ්පාදන ක්‍රියාවළියක් අරඹා දියුණු සංවර්ධන ඉලක්කයක් කරා යාමක් ගැන නොසිතයි. විශ්වවිද්‍යාල පමණක් ශ්‍රේණිගත කිරීම් වල ඉහළට නැංවීමට සිතා, තිබෙන සම්පත් ටික විකුණා දැමීමට සැලසුම් සකස් කරමින් සිටී.   


මේ අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම නිවැරදි බවට ආණ්ඩුව ගෙනෙන තර්ක සියල්ලම වැරදිය. ඊට අමතරව ආණ්ඩුවේ මෙම අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධ වීමට අපට තවත් හේතු ඇත.


* අඩු සායනික පුහුණුව නිසා ගුණාත්මක තත්වයෙන් අඩු වෛද්‍යවරුන් බිහි වීම.     රජයේ වෛද්‍ය පීඨ වලින් බිහි වන වෛද්‍යවරු වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රවීනත්වය ලබා ගන්නේ සායනික පුහුණු කාල සීමාව තුළදී විශාල රෝගීන් සංඛ්‍යාවක් පරීක්‍ෂා කිරීමෙනි. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල සිසුන් හට සායනික පුහුණුව ලබා දීමට නියමිතව ඇත්තේ පෞද්ගලික රෝහල් වලය. එබැවින් මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම පෞද්ගලික රෝහල් වලට ඇතුළත් වන රෝගීන් මෙම සිසුන්ගේ පුහුණු කටයුතු සඳහා ඔවුන් පරීක්‍ෂා කිරීමට කැමැත්ත ලබා දෙන්නේද යන්න සැක සහිතය. එමෙන්ම පෞද්ගලික රෝහල් වල රෝගී විවිධත්වය ප්‍රමාණවත් නැත. එමෙන්ම මෙම රෝහල් තුළින් හදිසි අනතුරු (Emergency Medicine) අධිකරණ වෛද්‍ය විද්‍යාව හා ප්‍රජා වෛද්‍ය විද්‍යාව වැනි ක්‍ෂේත්‍රයන්හි අවශ්‍ය කරන පුහුණුව ලැබෙන්නේ නැත. මෙයින් සිදු වන්නේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අඩු පුහුණුවක් සහිත ඇතඅම් ක්‍ෂේත්‍රයන් පිළිබඳ ගුණාත්මක තත්වයෙන් අඩු වෛද්‍යවරුන් බිහි වීමයි.


* රජයේ වෛද්‍ය පීඨ වල ආචාර්ය මණ්ඩලයට සිදු වන බලපෑම.      මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පිරිනමනු ලබන ආකර්ෂණීය වැටුප් හා දීමනා හේතුවෙන් අඩු පහසුකම් යටතේ රාජ්‍ය වෛද්‍ය පීඨ වල අධ්‍යාපනය ලබා දෙන ආචාර්ය මණ්ටලය ඒවාට ඇදී යයි. මේ වන විටත් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිටි එකම භෞතවේදී මහාචාර්යවරයා එසේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සම්බන්ධ වී ඇත. කොළඹ වෛද්‍ය පීඨයේ ජීව රසායන විද්‍යා මහාචාර්යවරයාත්, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ කායව්‍යවච්ඡේදය මහාචාර්යවරියකුත් එසේ සම්බන්ධ වී ඇත. මෙයින් සිදු වන්නේ දිවයිනේ ඉහළම කුසලතාවයක් දැක්වූ සිසුන් ඉගෙනුම ලබන රජයේ වෛද්‍ය පීඨ වල අධ්‍යාපන කටයුතු බිඳ වැටීමයි. දැනට රජයේ ඇතැම් වෛද්‍ය පීඨ වල ආචාර්ය මණ්ඩලයේ දැඩි හිඟයක් පවතී. උදා: රජරට වෛද්‍ය පීඨය     එම නිසා ආණ්ඩුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹමින් යන ගමන අතිශයින්ම වැරදි සහගත ගමනකි. එය අප රටේ අනාගතය විනාශ කිරීමකි. මෙම තත්වය වෙනස් කොට නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කිරීම අප ඉදිරිපිට ඇති අභියෝගයයි. “හොඳ දේ කිරීම අසීරුය. එවැනි දේ කළ විට ඒවා වටිනා හා ලස්සන දේ වෙයි. පහසු දේ කරන්නට ඕනෑම කෙනෙකුට හැකිය. එසේම ඒවා ඕනෑම කෙනෙක් සිදු කරති. නමුත් ඒවා වටිනා හා ලස්සන ඒවා වන්නේ නැත. එහෙයින් අනෙක් අය පසුබාන, අනෙක් අය අත හරින අසීරු, හොඳ කටයුතු අප බාර ගත යුතුය. අප ඒවා කළ යුතුය. එය කළ හැකිමය”. ඒ ආදරණීවිරු සිසු සොහොයුරකු වූ එස්. එම්. නිෂ්මි සහෝදරයා 80 දශකයේදී අපේ රටේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපන අයිතිය අහිමි කිරීමට කළ උත්සාහයට එරෙහිව සිදු කළ අරගලයකදී පැවසූවකි. ඔව්, දැන් අපට ඇත්තේ එක් මඟකි. ඒ නිදහස් අධ්‍යාපනය සුරක්‍ෂිත කිරීම යන “හොඳ” නමුත් “අසීරු” ඉලක්කයයි. එය අපට ජයග්‍රහණය කළ හැකිය. මන්ද යත් ඒ හොඳ කටයුත්තක් නිසාය. 

No comments:

Post a Comment