Friday, October 28, 2011

අතුල සේනාරත්න සොහොයුරා


පෞද්ගලික වෛද්‍ය  විද්‍යාල අරගලයට නායකත්වය දුන් ජ්‍යෙෂ්ඨතමයා වුනේ නුඹයි. වරෙක පියෙකු ලෙසද, වරෙක සොයුරෙකු ලෙසද, වරෙක සමීප හිතවතෙකු ලෙසද කටයුතු කල හැටි නුඹේ සහෝදර ක්‍රියාකාරීන් අදත් සිහි කරන්නේ හද පිරි භක්තියෙන්.

හැම දෙයක්ම නිවැරදිව දුටු ,හරියටම කල නුඹ,නාට්‍යයක් ගැන විවේචනයක් ලියද්දි නාට්‍ය කලාව ගැන ගැඹුරින්  හදාරන්න පෙළඹුනා. ඒ නිසාමයි “වෙද සිසු හඬ” පුවත් පත කරද්දී, පුවත්පත් කලාව හැදෑරුවේ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය පුරාම “වෙද සිසු හඬ”පුවත් පත ප්‍රකාශයට පත් වුනේ නුඹේ කර්තෘත්වය යටතේ.

හමුවන හැම විටකම අව්‍යාජ සිනහවකින් සංග්‍රහ කරන නුඹ එඩිතර සටන්කාමීත්වය  හා අවංක බව උපතින්ම උරුම කරගෙන සිටියා.

වෙනුරගෙන් පසු ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ  නායකත්වයට පත් වූ  නුඹ, 1990-08-15 දින කොළඹ දී අත්අඩංගුවට ගෙන අතුරුදහන් කරන තුරුම ලාංකීය සිසු පරපුරේ නායකයා වුනා.

නුඹ හා නුඹ වැනිම වූ විරුවන් විසින් දිවි හිමියෙන් රැක දුන් බිමේ ඉගෙනුම ලබන අප ඔබට මෙසේ උත්තමාචාර කර සිටිමු.

ත්‍රිමා ඝාතනය කර වසර 23 යි.


                                

2011 ඔක්තෝම්බර් 22 වැනිදාදිනට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 23 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් සංහාරයට ලක්වූ සමාජයක් පද්මසිරි ති‍්‍රමාවිතාරණ  සොයුරාගේ ඝාතනය සුවිශේෂී වන්නේ ඔහු ජීවිතය පූජා කළේ මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීම උදෙසා වන බැවිනි. 1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ නියමුවකු වූ තී‍්‍රමා අංකුර කවියෙකි. චිත‍්‍ර ශිල්පියෙකි. ඒ හැමටම වඩා ඔහු සැබෑ මිනිසෙක් විය.

ති‍්‍රමා දකුණේ අම්බලන්ගොඩ කහව, ගල්දූව ගමේ දී 1964 මාර්තු මස 01 දින උපත ලැබීය. ඔහුගේ පියා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙකු ලෙස සේවය කළේය. මලනුවන් තිදෙනෙකුට හා එක් නැගනියකට වැඩිමහල් සොහොයුරා වූ පද්මසිරි ත‍්‍රීමාවිතාන අහිංසක පවුලක, මවගේ පියාගේ හා සොයුරු සොයුරියන් සිවු දෙනෙකුගේ දහසක් පැතුම් ඉටු කරන්නට සිටි එකම බලාපොරොත්තුව විය. මූලික අධ්‍යාපනය අම්බලන්ගොඩ කහව විද්‍යාලයෙන් හැදෑරූ ඔහු උසස් අධ්‍යාපනය සදහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට තේරීපත් විය. ඔහු බ්ලොම් ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටියේය.

ජීවිතයේ දිගුගමන් මඟ වසනාවන්ත සාර්ථක එකක් කර ගන්නට වසර 15 කට ආසන්න කාලයක ප‍්‍රාථමික අධ්‍යාපනය ජයගෙන ජීවිතයේ ප‍්‍රාර්ථනා ඉටු කරගන්නට පා තැබූ බුද්ධියේ තෝතැන්න අවසනාවන්ත ලෙස ජීවිතයේ අවසන් භාගය තීන්දු කරාවි යැයි ඔහු නොසිතන්නට ඇත.

වර්ෂ 1977 දී බලයට පත් රජය එතෙක් පැවති රාජ්‍ය ඒකාධිකාරී ධනවාදී ආර්ථික ක‍්‍රමය වෙනස් කර විවෘත ආර්ථික ක‍්‍රමය හදුන්වා දෙමින් පොදු මහජන සේවාවන් ක‍්‍රමයන් පෞද්ගලීකරණය කිරීම ඇරඹීය. ඉනික්බිති අධ්‍යාපනය පෞද්ගලීකරණය කරවීමේ අරමුණ ඇතිව 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල සංශෝධන පනත ගෙන එන ලදි. මෙම පනත සම්මත කරගෙන 1978 මාර්තු 29 වන දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස තනි අමාත්‍යාංශයක් වශයෙන් තිබූ අමාත්‍යාංශය එතැන් සිට අමාත්‍යාංශ දෙකක් බවට පත් විය. මෙම පනතෙහි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පිළිබඳ සඳහන් කර තිබුණේ මෙසේය විශ්වවිද්‍යාල කොමිසම් සභාව සභාපතිවරයෙකු හා වෙනත් සාමාජිකයන් හතර දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් සියළු දෙනාම ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය. මේ අනුව සෘජු ලෙසම විශ්වවිද්‍යාල පද්ධතියට ජනාධිපතිවරයාගේ බලපෑම් අති වී තිබේ.

මෙලෙස 1978 අංක16 දරණ විශ්වවිද්‍යාල පනත මඟින් නව ප‍්‍රතිසංස්කරණ ඇති කළ පසු එහි 25 වන වගන්තිය යටතේ සැකසූ විශේෂ විධිවිධාන මඟින් අධ්‍යාපන පාඨමාලා පැවැත්වීමේ පිළිගත් ආයතන නිර්වචනය කරන ලදි. මේ අනුව එම ආයතන ලියාපදිංචි කරන ආකාරය, එම ආයතනයන්හී අධ්‍යාපනය සඳහා වන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල, ඒවායේ භෞතික සම්පත්වල පහසුකම් සහ අදාල විභාග, පාඨමාලා ගාස්තු පාඨමාලා වෙනත් ආයතන සහ අනුබද්ධ කිරීම් ආදී සියලූ කොන්දේසි එම විධිවිධාන වල අඩංගු විය. මේ අනුව විශ්වවිද්‍යාල පනතේ පිළිගත් ආයතන ලෙස අර්ථ දක්වා තිබුණේ පෞද්ගලික විශ්වවිද්‍යාල බව සිසුන් සහ ජනතාව තේරුම් ගන්නට විය.

ඒඅනුව රාගම තලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පවරා දෙන ලදි. තලගොල්ල රෝහල ද වසා දමන ලද අතර රාගම උතුරු කොළඹ මහ රෝහලේ වාට්ටු, රසායනාගාර සහ සේවක මණ්ඩල පහසුකම් මෙම පෞද්ලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා පවරා දෙන ලදි. ඒ 1981 සැප්තැම්බර් 09 වැනදාදාය. මුදලට අධ්‍යාපනය විකිණීම තුළින් නිදහස් අධ්‍යාපනයට මළගම කැඳවීම මේ ක‍්‍රියාවලියේ අරමුණ විය. නමුත් ඊට එරෙහිව ඉමහත් කැපවීමෙන් හා ජීවිත පිරිත්‍යාගයෙන් කටයුතු කරන්නට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සමත් විය. අධ්‍යාපනය වරප‍්‍රසාද ඇති පන්තියට පමණක් සීමා කිරීමට එරෙහිව ශිෂ්‍ය විරෝධය රළ ගසමින් නැඟී ආවේය. පංති වර්ජන සහ විරෝධතා නොකඩවා දක්නට ලැබිණි.

මේ ක‍්‍රියාවලියෙන් නිදහස් අධ්‍යාපනයට වන හානිය මනාව තේරුම් ගත් ශිෂ්‍යයන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධය පළ කිරීම ආරම්භ කරන ලදි. නමුත් එය ජනතාව අතර පැතුරුණු පළල් විරෝධයක් නොවීය. 1980 වැඩ වර්ජනය පරාජය වීමෙන් පසු සමස්ථ සමාජයම එළඹ සිටි නිද්‍රාශීලීභාවය එයට ප‍්‍රධාන හේතුවක් විය. 1983 දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් තම දෙවන වසර විභාගය සඳහා කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් සමඟ එකම විභාගයකට පෙනී සිටීමට ගත් උත්සාහය වැළැක්වීමට බහුතරයක් සිසූහු පෙළ ගැසුනාහ.

ඔවුන්ගේ උත්සාහය වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොළඹ වෛද්‍ය පීඨයෙන් ස්වායක්ත කිරීම පමණි. නීතිඥ කොල්වින් ආර් ද සිල්වා හා බැටී වීරකෝන් මඟින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් කොළඹ වෛද්‍ය පීඨයේ විභාගයට වාඩිවීම උසාවි නියෝගයකින් නතර කිරීමට ඔවූහු උත්සාහ කළහ. නඩුව විසිවූ අතර අපෑලද පරාජය විය. සිසුන් පන්ති වර්ජනය කර විභාග වර්ජනය කර සිටියහ.

ලාංකීය ඉතිහාසයේ කලූ පැල්ලමක් වූ 1983 කළු ජූලිය එළඹියේ මේ අතරය. එමගින් පැණවූ හදිසි නීතිය මඟින් ශිෂ්‍ය සභාව තහනම් වූ අතර කළු ජූලියෙන් පසු එළඹි භීෂණය වෛද්‍ය සිසුන්ගේ අරගලයේ තිබුණු දීප්තිය නිවාලීය. මේ අතර දෙමාපිය සංගමයක් බිහිවූ අතර ප‍්‍රශ්නය විසදීම තමන්ට භාර දී විභාගයට වාඩි වන ලෙස ඉල්ලීම් කෙරිණි. එහිදී වෛද්‍ය සිසූහු ‍‍ඓතිහාසික අනුවණකමක් කළහ. දෙවන වසර විභාගය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් සමඟ එකට පැවැත්විණ.

1987 වසර එළබිණි. එය තීරණාත්මක වසරක් විය. ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පළමුවරට අවසාන වසර විභාගයට වාඩිවූ වසරයි. ඔවුනට කොළඹ වෛද්‍ය පීඨයේ විභාගයට වාඩිවීමට පීඨයේ හා රටේ පාලකයන් අවස්ථාව සලසා දී තිබුණි. ඒ අනුව අධ්‍යාපන සුදුසුකම් රහිතව මුදලට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අතුලූ වූ ඔවුනට කොළඹ වෛද්‍ය පීඨයේ උපාධිය හිමිකරදීමට ඔවූහු උත්සාහ කළහ. මේ කඩඉම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට පැහැදිළිවම අභියෝගයක් විය.

එම අවසාන වසර විභාගය යෙදී තිබුණේ 1987 ජූලි 30 දිනය. මෙම අභියෝගයට අභීතව මුහුණ දීමට අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව තීරණය කළ අතර ඒ අනුව කෙටි කළකින් බොහෝ දේ සංවිධානය කිරීමට ඔවුන්ට සිදු විණ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහයෝගය ලබා ගැනීමට අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවට හැකි විය. දිවයින පුරා විසිරී සිටින සියළු වෛද්‍යවරුන් හමු වී කරුණු පැහැදිළි කර වෛද්‍ය වැඩ වර්ජනයට ඔවුන් කැමති කරවා ගත හැකි විය. 1987 ජූලි මාසය විරෝධතා මාසය ලෙස නම් කෙරුණු අතර 1987 ජූලි 13 දින වෛද්‍යවරුන්ගේ වැඩ වැරුම ඇරඹිණ.

රජය ප‍්‍රශ්නය විසදීම පසෙක තබා වෛද්‍යවරුන් මර්ධනය කර වර්ජනය නතර කිරීමට උත්සාහ කළේය. අනවශ්‍ය සේවා නියෝග පනවන ලදි. වෛද්‍යවරුන් රජයේ සේවය අතහැර ගියා සේ සළකා දේපළ රාජසන්තක කරන බවට තර්ජනය කෙරුණි. වෛද්‍ය පීඨයේ සිසුන් රටපුරා ඇවිදිමින් වෛද්‍යවරුන් දිරිමත් කරමින් කටයුතු කළ නිසා මේ තර්ජන වෛද්‍ය වැඩවැරුම නතර කිරීමට ප‍්‍රමාණවත් නොවිණි. ඉතිහාසයේ දීර්ඝතම වැඩවර්ජනය දින 27 කට පසු ජයග‍්‍රහණය පෙනි පෙනී අතහැර දැමුණි. එහෙත් එම වෛද්‍ය වැඩ වර්ජනය වෛද්‍ය ශිෂ්‍ය අරගලයට ලබා දුන් පිටුබලය අපමණය. ඉගැන්වූ පාඩම් බොහෝය. වෛද්‍ය වර්ජනය ඇරඹෙන විට වෛද්‍ය ශිෂ්‍ය අරගලය ඉතා පටු සීමාවන්ට කොටු වී තිබුණි. රජයේ අධ්‍යාපනය පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තියට එරෙහි වනු වෙනුවට කොළඹ වෛද්‍ය පීඨයේ ගෞරවණීය උපාධිය පෞද්ගලික වෛද්‍ය සිසුන්ට ලබා නොදීම එහි අරමුණ විය. සත්‍ය වශයෙන්ම අරගලය ඇරඹිය විය යුතුව තිබුණේ නිදහස් අධ්‍යාපනය රැක දීමට නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොතිබිය යුතුය යන්න අවධාරණය කරමිනි. හුදෙකලා වෛද්‍ය වර්ජනය පරාජය වීමෙන් පසු සියලූ දෙනාටම මෙම සත්‍ය පසක් විය ජනතාවට සැකයකින් තොරව බද්ධ විය හැකි ජනතාවාදී සටන් පාඨයක් ඉදිරිපත් වූයේ ඉන් පසුවයි. “පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්යන්න එම සටන් පාඨය විය.
පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ ඇතුලූ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෝ 40 ලක්ෂයක ශිෂ්‍ය ප‍්‍රජාවගේ අයිතිය රැක ගැනීම වෙනුවෙන් නොපැකිලිව නැගී සිටියහ.

වසා දැමුනු වෛද්‍ය පීඨ නේවාසිකාගාරයෙන් එළියට පැමිණි තී‍්‍රමා නැවත පිටත්ව ගියේ තම පරපුර මුහුණ දෙන අභියෝගයන්ට පිළියම් සෙවීම සඳහාය. ඔහු රත්නපුර ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ප‍්‍රධානියෙක් විය ඇතැම් විට ස්වකීය ජීවිතය අහිමි වන බව දැන දැනම ත‍්‍රීමා හික්කඩුවේ සිට රත්නපුරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා නික්ම ගොස් තිබුණි.

වෛද්‍ය සිසුන්ගේ අරගලය වසරක් පුරා නොකඩවා ඇදී ආවේය. අරගලය උත්සන්න කිරීම වස් වෛද්‍ය පීඨ සිසුන් වර්ෂ පූර්ණ සංවත්සරයට සූදානම් වූහ.  “වෛද්‍ය අධ්‍යාපනය නැවතී වසරයි, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්යන සටන් පාඨය පොස්ටර් ලක්ෂ ගණනින් අතින් ඇද රට පුරා ඇලවීමට වෛද්‍ය සිසුන් ක‍්‍රියා කළහ.

                                               

කෲර මර්ධනය එළඹියේ ඉන් අනතුරුවයි. ත‍්‍රීමාවිතාරණ සොයුරා, රංජිත් පෙරේරා, ඞී. ඞී. බන්දුවර්ධන යන සොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත‍්‍රියේ දී පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමා තිබුණි.
මෙම ඝාතනයේ චෝදනා එල්ල වූයේ සබරගමුව මහ ඇමතිගේ පුත් සුසන්ත පුංචිනිලමේ මහතාටය. මහත් ආන්දෝලනයකට ලක් වූ එම නඩුව රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාග විය. සුසන්ත පුංචිනිලමේ ඇතුළු කීප දෙනෙකුට එරෙහිව අධිචොදනා 13 ක් යටතේ එම නඩුව පවරා තිබුණි. නඩුව අවසානයේ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ නිසා චූදිතයෝ නිදහස් වූහ.

අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ ශක්තිය හා බලය ප‍්‍රදර්ශණය කරවූයේ මෙම ඝාතනයයි. ත‍්‍රිමාගේ මළසිරුර හොර රහසේම නිවසට භාර දී නිහඩව අවසන් කටයුතු කිරීමට රජය උත්සාහ කළහ. එහෙත් වෛද්‍ය ශිෂ්‍ය කමිටුව ඊට එකඟ නොවීය.
















කොළඹ මහ රෝහලේ වහල මතට නැගුණු වෛද්‍ය සිසු සිසුවියන් ත‍්‍රිමාගේ මළසිරුර ඉල්ලා මාරාන්තික උපවාසයක් ඇරඹූහ. ආණ්ඩුව එයට ද ඇහුම්කන් නොදුන් විට ඔවූහූ සිරුරට පෙට්රල් වත්කර සිය දිවි හානි කර ගැනීමට තැත් කළහ. අවසානයේ දී ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේ දණ නැවීමට සිදු විය. කුඩා පෙට්ටියක බහාලූ ත‍්‍රිමාගේ මෘත දේහය සොවින් කදුළු සැලූ සටන් සඟයන්ගේ කර මතින් වෛද්‍ය පීඨයට රැගෙන එන ලදි. එයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාවක් පැමිණියහ. ආදාහන පෙළහැර කොළඹ තුන්මුල්ල හරහා දිගු ගමනකින් පසු බොරැල්ල කනත්තට ලඟා විය. අවමඟුලට සහභාගී වූ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවීය. එය ලාංකීය ඉතිහාසයේ විශාලතම ජන සංඛ්‍යාවක් සහභාගීත්වයෙන් පැවැති අවමඟුල විය. මෙම ඝාතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ සංධිස්ථානයක් විය. එම අරගලයේ අනෙක් නියමුවෝ සිය ආදරණීය ශිෂ්‍ය නායකයාට ඔහු ගෙන ගිය අරගලය ජයග‍්‍රහණය දක්වා ඉදිරියට ගෙන යන බවට ශපථ කළහ. නමුත් එය ඝාතක පෙළක ඇරඹුම පමණක් විය. එම අරගලයේ මුල් පෙළ නියමුවන් වූ වෙනුර එදිරිසිංහ, සිසිර කීර්ති ජයවර්ධන, කුමාර කුලතුංග, ලීල් සමරනාත්, සරත් කොල්ලූරේ, නිශාන්ත එදිරිවික‍්‍රම අතුල සේනාරත්න, සුගත් අශෝකා ද සිල්වා යන කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් පැහැරගෙන ගොස් මරා දමන ලදි.


රාජ්‍ය භීෂණය වෛද්‍ය ශිෂ්‍ය අරගලයේ පළමු පෙළ නායකයන් සියල්ල අතුරුදහන් කළ ද ඔවුන් විසින් ගොඩනැගූ අරගලය රට පුරා නොනිවී දැල්විනි. ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් වෛද්‍ය ශිෂ්‍ය ප‍්‍රශ්නය විසදිය යුතු විය.

එබැවින් ආණ්ඩුව සිය පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තිය තාවකාලිකව හකුලා ගනිමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලදි. තවත් රජයේ වෛද්‍ය පීඨයක් දේශයට උරුම කර දීමට වෛද්‍ය සිසු අරගලයට හැකි විය. ඒ කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයයි.

ලාංකීය ඉතිහාසය තුළ ශිෂ්‍ය අරගලයක් කම්කරු පන්තිය ඇතුළු පොදු ජනතාව සමඟ බද්ධ වී ඉතාමත් සංවිධානාත්මකව සමස්ථ ශ‍්‍රී ලංකාව පුරාම පැතුරුණු දීර්ඝකාලීන බහු ජන අරගලයක් දක්වා පෙරට ගොස් ජයග‍්‍රහණය අත්පත් කර ගැනීම පිළිබඳව පළමු අත්දැකීම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය බව සනිටුහන් කිරීමට හැකි වීම, එකී අරගලයට නායකත්වය දී දිවි පිදූ සියල්ලන්ගේත් අරගලයේදී අපරිමිත ධෛර්යෙන් යුතුව කටයුතු කළ සියල්ලන්ගේ ගෞරවය පිණිස වනු ඇත.

 
(ඔක්තෝම්බර් 22 දිනට යෙදුනු පද්මසිරි ත්‍රීමාවිතාන සොයුරාගේ ගුණානුස්මරණය නිමිත්තෙනි )
-ffjoH mSG YsIH ix.uh-

Thursday, September 15, 2011

PMC හා විදේශ විනිමය

උසස් අධ්‍යාපන අමාත්‍යාශයේම ලේඛන වලට අනුව වාර්ශිකව 300කට ආසන්න සිසුන් පිරිසක් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශ ගත වේ, එමගින් වාර්ශිකව පිටරටට ඇදීයන මුදල කෝටි 160කි, මෙය විශාල මුදලක් දැයි ඔබට පහත දත්ත දෙස බැලූ විට පැහැදිලි වනු ඇත. ඇත්තෙන්ම මෙවැනි බොලඳ තර්ක ඉදිරිපත් කිරීමට පෙර සැළැකිය යුතු කරුණු රැසක් තිබේ. යහපත් කළමණාකරණයක් තුලින් රට තුළ ඉතිරි කරගත හැකි මුදල් හා සසඳන විට මේ මුදල කෙතරම් කජ්ජක්දැයි නොසිතුනොත් පුදුමයකි. 

1) පසු ගිය දා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීමට වෙන් කළැ මුදල රු කොටි 160කි(වසරක සල්ලී)

2) පසු ගිය දා සුඛෝපභෝගී හෙලිකොප්ටෙර් ගෙන්වීම සඳහා ද රජය මුදල් වෙන් කර තිබේ.
 
3) හෙජින් ගිවිසුම නිසා රටට අහිමි වූ මුදල රු කෝටි 1700කි (වසර 11ක පිටරට යන සල්ලී)
 
4) COPE වාර්තාවට අනුව රටේ වංචා දූෂන නිසා රටට අහිමි වී ඇති මුදල රු කෝටි 15000කි( වසර 94කදී පිටරටට යන මුදල් වලට සමාන වේ. )


මීට අමතරව පහසුවෙන් රට තුළ නිපදවා ගත හැකි ද්‍රව්‍ය මගින් වාර්ශිකව විදේශයන්ට මුදල්පහත පරිදි ඇදී යයි.


1) කිරි පිටි - රු කෝටි 1900
2) සීනි - රු කෝටි 2000
3) ටින් මාළු - රු කොටි 1500
(ඉහත දත්ත මහ බැංකු වාර්තා මගිනී)

එබැවින් ආදායම් උපයා ගැනීම සඳහා නූපන් පරපුරක අනාගතය අනතුරේ දමනවා වෙනුවට කළ හැකි දේ බොහෝතිබේ, ඒවාට සාපේක්ෂව අධ්‍යැඇපනය වෙනුවෙන් ඇදීයන මුදල කෙතරම් සොච්චමක්දැයි ඔබට පැහැදිලි ඇතුවට සැකයක් නැත. 
(අපි ආණ්ඩු පෙරළන්නට කුමන්ත්‍රණය නොකරමු, අපට අනාගත පරම්පරාවේ සුරක්ශිත භාවය අවශ්‍යය, මන්ද ශ්‍රීලංකාවේ බදුගෙවන ජනතාවගෙන් 98% කට සිදුවන අසාධාරණය පිළිබඳව ඔබ දැනුවත් විය යුතුය/ තවත් යමක් තිබේ පිටරට ගොස් එන බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ  ACT16(ERPM) විභාගය සමත් විය නොහැකි බව දැන්විය යුතුය, ඉතින් අපි එවනි වෛද්‍යවරුන්ගේ දැනුම සහ පුහුණුව ගැන ප්‍රශ්ණ කළයුතු නොවේ ද? )

Tuesday, September 13, 2011

රුසියාව පෙන්වා ලංකාව ගොනාට ඇන්දවීම හෙවත් මාලබේ වෛද්‍ය විද්‍යාල අර්බුදය

තමන් අතින් ජාතියට දේශයට සිදුවෙමින් ඇති නිවැරැදි කළ නොහැකි බොහෝ දේ පිළිබඳ ඔවුහු සංවේදී නොවෙති. කර වටක්‌ ගිලී හිඳිනා දේශපාලන ගොහොරුවේ තව තවත් ගිලී නැහෙන්නට ස්‌වෙච්ඡාවෙන්ම වළිකන මිනිසුන් හිඳිනා රටකට සංවේදීතාවක අවැසිතාව ශූන්‍ය බව වටහා ගැනීම අසීරු නැත. ඒ නිසාම දේශපාලන නරා වළට පැන පණ නසා ගැනීමේ තරගයක යෙදී සිටින මිනිසුන්ගෙන්ම යෑපෙමින් ඔවුන්ටම වින කිරීමේ අප්‍රසන්න ක්‍රියාවලියක ආරම්භය සනිටුහන්වීමේ භයානකකමේ අනතුර හඟවමින් මේ සටහන ආරම්භ කරමු.

පද්මසිරි ත්‍රීමාවිතාන, සරත් කොල්ලුරේ, අතුල සේනාරත්න, වෙනුර එදිරිසිංහ වැනි වෛද්‍ය ශිෂ්‍ය නායකයන් නිදහස්‌ අධ්‍යාපනයේ නාමයෙන් දිවිදුන් ඒ අතීතය කිසිදා අමතක කළ නොහැකිය. 1981 වසරේදී උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඒ වටිනා ජීවිත රටට අහිමි වූයේ යළිත් එවැනි විනාශයක්‌ රටේ නොසිදුවිය යුතුය යන්න හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නිදහස්‌ අධ්‍යාපනයට බාධාවක්‌ය යන්න සනිටුහන් කරමිනි. එදා උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමට එරෙහි වූ ශිෂ්‍යයන් මර්දනය කරන ලද්දේ ලේ ගංගා මැදිනි. උසස්‌ පෙළ කලා අංශයෙන් විභාගයට පෙනී සිටි සිසුන් පමණක්‌ නොව උසස්‌ පෙළ අසමත් සිසුහු ද මුදල් බලයෙන් ඊට ඇතුළත් වූහ. ක්‍රම ක්‍රමයෙන් ඊට එරෙහි විරෝධතා උත්සන්නවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයට අනුයුක්‌ත කෙරිණි.

ඉන් අනතුරුව 1998 වසරේදී තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අනතුර හමුවේ රටේ දැඩි විරෝධතාවක්‌ උද්ගත විය. ඔස්‌ටේ්‍රලියාවේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයට අනුබද්ධව නාරාහේන්පිට කිරි මණ්‌ඩල මාවතේ පිහිටුවූ එම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිසුහු නඩු මඟට පිවිසියහ. ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ අනුමැතිය මත පිහිටුවූ නමුත් ඊට එරෙහිව එල්ල වූ දැඩි විරෝධතාව මත එම ව්‍යාපෘතිය හකුළා ගන්නට ආයෝජකයන්ට සිදුවිය.
               වෛද්‍ය විද්‍යාල වෙබ් අඩවියේ විද්‍යාලය විදේශීය ආයතනයක්‌ බව සඳහන් වන අයුරු 

යළි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ අනතුර සමාජයට එන්නේ ඇබර්ඩීන් ව්‍යාපෘතියෙන් වසර තුනකට පසුවය. එනම් 2001 වසරේදීය. එවර එය ක්‍රියාවට නැඟුණේ ටැන්සානියාවේ ජාත්‍යන්තර වෛද්‍ය සහ තාක්‍ෂණික විශ්වවිද්‍යාලයට අනුබද්ධ ව්‍යාපෘතියක්‌ ලෙසය. ඉන්දියාවේ විග්නන් අධ්‍යාපන පදනම මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කළේය. පුවත්පත් දැන්වීම් පළ කරමින් සිසුන් බඳවා ගැනීමට ඔවුන් කටයුතු කළ ද එම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී නොතිබිණි. තමන් එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය නොදෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පුවත්පත් දැන්වීම් මගින්ම ප්‍රකාශයට පත් කර සිටියේය. 2001 වසරේදී නොපෙනී ගිය විග්නන් වෛද්‍ය විද්‍යාලය 2006 වසරේදී යළි කරළියට පැමිණියේය. එහෙත් ඒ සඳහා ද අවස්‌ථාව නොලැබිණි. සමාජයෙන් එල්ලවූ දැඩි විරෝධතා හමුවේ විග්නන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නොපෙනී ගියේය. වෛද්‍ය උපාධිය මුදලට අලෙවි කිරීමේ එම ව්‍යාපෘතිය සක්‍රීය කර ගැනීම සඳහා වරින්වර ගනු ලැබූ උත්සාහයන් ද සාර්ථක නොවීය. ප්‍රධාන වශයෙන්ම දේශපාලන තල්ලුවක්‌ නොලැබීම එය අසාර්ථකවීමට බලපෑ මූලිකම හේතුව බව විශ්වාස කළ හැකිය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉතිහාස කතාව එලෙස වුවද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වර්තමාන කතාව අලුතින් ලියෑවෙමින් තිබේ. මෙවර එය ලියෑවෙමින් ඇත්තේ පූර්ණ දේශපාලන අනුග්‍රහය මතය. අප කවුරුත් කරඬුවක්‌ සේ හිස තබාගෙන යන දේශපාලනයේ අනුහසින් ලියෑවෙන මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කතාව රට හමුවේ දිග හැරෙමින් ඇත.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නැතහොත් දකුණු ආසියානු වෛද්‍ය හා තාක්‍ෂණික ආයතනය මෙරට පිහිටුවෙන්නේ 2009 වසරේදීය. එහි හිමිකරුවා වන්නේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාය. හෙතෙම හිටපු මහජන නියෝජිතයෙකි. මෙම ආයතනයට 2009 වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රථම ශිෂ්‍ය කණ්‌ඩායම බඳවා ගැනෙන්නේ රුසියාවේ "නිස්‌නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමිය" මගින් වෛද්‍ය උපාධිය පිරිනැමීමේ පදනම මතය. සිසුන්ගේ සායනික පුහුණුව රුසියාවේදී ලබාදෙන බවද සඳහන් විය. නිස්‌නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමියේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වමින් සිසුන් බඳවා ගැනීම ආරම්භ කළ ද අදටත් ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී නැත. වෛද්‍ය සභාවේ අනුමැතිය මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නොලැබෙන්නේ එහි සිසුන් දෙවසරක්‌ ශ්‍රී ලංකාවේ ද තවත් දෙවසරක්‌ රුසියාවේ ද අධ්‍යාපනය ලබන හෙයිනි. සිසුන් බඳවා ගැනීමේදී ආයතනය ප්‍රකාශයට පත් කළේ එලෙසිනි. සිසුන් ආයතනයට ඇතුළු වන්නේ ද දෙවසරක්‌ රුසියාවේ අධ්‍යාපනය ලැබීමේ අපේක්‍ෂාවෙනි. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රුසියාවේ වෛද්‍ය ඇකඩමිය සමග සම්බන්ධ වූයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ දැනුම්දීම මතය යන්න දැන් පැහැදිලිය. මෙම ආයතනය පිහිටුවීම සඳහා 2008 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩල අනුමැතිය ඉල්ලනු ලැබ ඇති අතර එහිදී ආයෝජන මණ්‌ඩලයේ එක්‌ කොන්දේසියක්‌ වී ඇත්තේ පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක්‌ සමග සම්බන්ධ විය යුතු බවය. වහාම එම කොන්දේසිය සපුරාලූ ආයතනය සිය වෙබ් අඩවියෙන් ප්‍රකාශයට පත් කරන්නේ දකුණු ආසියානු කළමනාකරණ හා තාක්‍ෂණික ආයතනය විදේශීය අධ්‍යාපන ආයතනයක්‌ බවය. පළමු ශිෂ්‍ය කණ්‌ඩායම බඳවාගෙන වසරකට පමණ පසුව එනම් පසුගිය වසරේ ඔක්‌තෝබර් මස 4 වැනිදා ආයතන වෙබ් අඩවියේ සඳහන් වූයේ වෛද්‍ය උපාධිය පිරිනමනු ලබන්නේ නිස්‌නි නොව්ගොරොද් ඇකඩමියෙන් බවය. එමෙන්ම අවසන් වසර සායනික පුහුණුව රුසියාවේදී ලබාදෙන බවත් එහි සඳහන් විය. පළමු ශිෂ්‍ය කණ්‌ඩායම බඳවා ගන්නා විට රුසියානු වෛද්‍ය උපාධියක්‌ පිරිනමන බවට ආයතනය කළ ප්‍රකාශ මේ වන විට ශ්‍රී ලංකාවට විතැන් වී තිබේ. රුසියානු වෛද්‍ය උපාධිය පසෙක තිබියදී ආයතනය දැන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ එම්. බී. බී. එස්‌. වෛද්‍ය උපාධිය පිරිනැමීමට තමන් සූදානම් බවය. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධි පිරිනැමීමේ බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද කිසිදු පැකිළීමකින් තොරව අනුමත කර තිබේ. රුසියානු උපාධිය ශ්‍රී ලංකාවට මාරු කිරීම මහ කඡ්ජක්‌ නොවන බව පසක්‌ කරමින් ප්‍රතිපාදන කොමිෂන් සභා මහත්වරු උපාධි පිරිනැමීමේ බලය වෛද්‍ය විද්‍යාලයට ලබා දීමේ රහස කවුරුත් දැනගැනීම වැදගත්ය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිනිය ලෙස කටයුතු කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මියය. ඇය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද සාමාජිකාවකි. එපමණක්‌ ද නොවේ. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඒ ඒ විෂයයන් සඳහා වන ස්‌ථාවර කමිටු පවතී. එහි දන්ත වෛද්‍ය හා වෛද්‍ය විෂයයන්ට අදාළ ස්‌ථාවර කමිටුවේ සභාපතිනිය වන්නේද චන්ද්‍රසේකර මහත්මියයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිනිය ලෙස හිඳිමින් එම විද්‍යාලයට උපාධි පිරිනැමීමේ අවසරය ලබාගැනීමේ සාකච්ඡාවලටද ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස නිල බලයෙන්ම සහභාගි වීමේ සදාචාරය කුමක්‌දැයි ප්‍රශ්න කළ යුතුය. තම ආයතනයට වරප්‍රසාද ලබාගැනීම සඳහා වරප්‍රසාද ලබාදෙන ආයතනයේ සාමාජිකත්වය දැරීමට හැකිවීමම මහාචාර්යවරිය ලද භාග්‍යයක්‌ ද නැතහොත් රටේ අභාග්‍යයක්‌ද යන්න තෝරා බේරාගැනීම වැදගත්ය.

අනෙක්‌ අතට විදේශීය ආයතනයක්‌ යෑයි තමන්ම කියා ගන්නා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ ලයිසන් දීමේ අයිතිය දීම සඳහා ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගත්තේ කෙසේද යන්න හා ඇයිද යන්නත් ප්‍රශ්නයකි. විදේශීය ආයතනවලට ලයිසන් දීමේ බලය ප්‍රතිපාදන කොමිෂන් සභාවට හිමිවූයේ නීත්‍යනුකූලව ද නැතහොත් ස්‌වේච්ඡාවෙන් ම කොඳු කඩාගැනීමට පේවී සිටීමේ ප්‍රතිඵලයක්‌ ලෙසද යන්නත් විමසිය යුතුය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මහත්වරුන් හා නෝනලා වැටුප් ලබන්නේ විදේශයන්ගෙන් නම් විදේශ ආයතනවලට උපාධි පිරිනැමීමේ බලය ලබා දීමේ ගැටලුවක්‌ නැත. එහෙත් අපි දන්නා තරමින් නම් ඔවුන් වැටුප් ලබන්නේ මෙරට ජනතාවගේ බදු මුදලිනි. කාෂ්ටක අව්වේ දැවෙමින් දහදිය හෙළන කම්කරුවා උපයන සොච්චමද බද්දක්‌ වී ප්‍රතිපාදන කොමිසමේ ටයිකෝට්‌ පළඳින මහත්වරුන්ගේ වැටුපට එකතු වන බව මතක්‌කර දිය යුතුය. එහෙයින් ඔවුන්ගේ තීන්දු - තීරණ සමස්‌ත මහජනයා වෙනුවෙන් විනා එක්‌තරා පැලැන්තියක්‌ වෙනුවෙන් පමණක්‌ නොවිය යුතු වගත් සටහන් කළ යුතුය.ආරම්භයේදී රුසියානු වෛද්‍ය උපාධියක්‌ පිරිනමන බව ප්‍රචාරය කළද රුසියාවේ නිෂ්නි නොව්ගොරෝද් ඇකඩමිය ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලයක සම්බන්ධයක්‌ ගැන කිසිවක්‌ නොදන්නා බව එම ආයතනයම ප්‍රකාශ කර ඇත. මුල සිටිම සිසුන් මුලා කිරීමට සම්බන්ධ වූවන් පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවධානය යොමු කළේද? ආයතනයට නීතිමය තත්ත්වය ලබාදීමට පෙර ඒ පිළිබඳවත් අවධානය යොමු කළේ නම් කෙතරම් අගනේද.....?

උපාධි පිරිනැමීමේ බලය වෛද්‍ය විද්‍යාලයට පිරිනමන තීන්දුව ප්‍රතිපාදන කොමිසම ගන්නා අවස්‌ථාව වන විටත් එහි සිසුන්ට සායනික පුහුණුව සඳහා රජයේ රෝහලක්‌ සොයා ගැනීමට හැකිවී තිබේද? නැත. වෛද්‍යවරයෙක්‌ බිහිකිරීම ප්‍රගතිශීලී මානයේ සිට විහින් කොඳු නාරටි බිඳ ගනිමින් සුවච කීකරු තත්ත්වයට පත්වීම තරම් පහසු නොවන බව කවුරු කවුරුත් මතක තබාගත යුතුය. නිසි පරිදි සායනික පුහුණුවක්‌ නොලැබ වෛද්‍යවරයකු ලෙස සමාජයට එන පුද්ගලයන්ගෙන් වෛද්‍ය උපදෙස්‌, ප්‍රතිකාර ලබාගැනීමට ඒ අවසරය ලබාදුන් කොමිසමේ සාමාජිකයන්ම සූදානම් විය යුතු යෑයි අපි සිතමු. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා තෝරාගත් තලංගම, හෝමාගම පමණක්‌ නොව අවිස්‌සාවේල්ල යන රෝහල්වලින් ඒ අවසරය නොලැබිණි. මේ අසාර්ථකවීම රැඳී ඇත්තේ වෛද්‍ය විද්‍යාලය ආරම්භයේදීම ඒ සඳහා ක්‍රමවේදයක්‌ නොවූ හෙයින් නොවේ නම් අන් කවරක්‌ද? වෛද්‍ය සිසුවකු සිය අවසන් දෙවසරේදී වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ළමා සහ ප්‍රසව හා නාරි යන අංශ පිළිබඳ අධ්‍යයනය කළ යුතුය. ඒ සඳහා සායනික පුහුණුව අත්‍යවශ්‍ය වෙයි. මාලබේ සිසුන්ට පෙර කී රෝහල්වල සායනික පුහුණුව සඳහා අවසරය ලබාදුන්නද එම රෝහල් වෛද්‍ය සිසුවකුගේ සායනික පුහුණුවට ප්‍රමාණවත් නැත. වෛද්‍ය සිසුවකු සායනික කටයුතු කළ යුතු වන්නේ ශික්‍ෂණ රෝහලකදී වග මතක්‌ කිරීමට සිදුව තිබේ. මහාචාර්යවරුන් විසින් පාලනය කරන වාට්‌ටු ශික්‍ෂණ රෝහල්වල තිබේ. ඒවායේ විශේෂඥ වෛද්‍යවරු ද සිටිති. වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවේ ද මූලිකත්වය ගන්නේ ඔවුන්ය. විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨවල ද ඔවුහු උගන්වති. මාලබේ සිසුන්ට රජයේ රෝහල් නොලැබීම නිසා සායනික කටයුතු සඳහා පෞද්ගලික රෝහල් සොයා ගෙන ඇතැයි උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා කියා සිටියේය. ශික්‍ෂණ රෝහලකදී සිසුන්ට ලැබෙන සායනික පුහුණුව පෞද්ගලික රෝහලකදී ලබාගත හැකිද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. පෞද්ගලික රෝහලකට රෝගියෙක්‌ ඇතුළත් වන්නේ එක්‌ වෛද්‍යවරයකු චැනල් කිරීමෙනි. එලෙස ඇතුළත් වන රෝගියාට වෛද්‍ය උපදෙස්‌ හා ප්‍රතිකාර ලබා දෙන්නේ අදාළ වෛද්‍යවරයා පමණි. වෛද්‍ය සිසුන්ගේ විවිධාකාර ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෞද්ගලික රෝහලකට ඇතුළත් වන රෝගීන් සූදානම්ද...? අනෙක්‌ අතට ශික්‍ෂණ රෝහල්වල රෝගීන් අසල සිට වෛද්‍ය සිසුන්ට ඉගැන්වීමේ ක්‍රමවේදය පෞද්ගලික රෝහල්වල කළ හැකිද? එපමණක්‌ නොවේ. පෞද්ගලික රෝහල්වලදී සිසුන්ට ඉගැන්වීමේ වගකීම ගනු ලබන්නේ කවුරුන් විසින්ද? පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරු ඒ වගකීම ගනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිද? පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ට අවශ්‍ය අවස්‌ථාවකදී රෝහලෙන් රෝහලට මාරු විය හැකිය. එවැනි අවස්‌ථාවකදී සිසුන්ගේ වගකීම පැවරෙනු ඇත්තේ කාහටද...? ශික්‍ෂණ රෝහලකින් සිසුන් ලබා ගන්නා දැනුම පෞද්ගලික රෝහලකින් ලැබිය හැකිද? යන ප්‍රශ්නයට නම් පිළිතුර "නැත" යන්නටය.

මාලබේ වෛද්‍ය විද්‍යාලයීය සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා මෘතශරීර ලබාගැනීමේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ද ගැටලු පවතී. වෛද්‍ය පීඨවලට පරිත්‍යාග කෙරෙන මෘතදේහයන් හොර පාරෙන් මාලබේට යන්නේද යන සැකය ද ඇතැම් පිරිස්‌ අතර පවතී. මාලබේ වෛද්‍ය විද්‍යාලයේ ආරංචි මාර්ගවලට අනුව එහි මෘතශරීර තිහක්‌ පමණ ඇත. ඒවා තබා ගැනීමේ නීතිමය තත්ත්වය කුමක්‌ද යන්න අපැහැදිලිය. යම් පුද්ගලයකුට අවශ්‍ය නම් එම ආයතනයට මෘතශරීර අලෙවි කිරීමට නොහැකිද? එහි කපා කොටා ඇති මෘත දේහයක්‌ තමාගේ අහවලයා යෑයි සැක කරන බව කිසිවකු ප්‍රකාශ කළහොත් උද්ගත විය හැකි තත්ත්වය කුමක්‌ද? මෙවැනි ගැටලු සහගත තත්ත්වයන්ට පිළිතුරු අවශ්‍යය.

එමෙන්ම වෛද්‍ය පීඨයන්හි ආචාර්ය මහාචාර්යවරු විශාල වශයෙන් මාලබේට සම්බන්ධ වීමට උත්සාහ කළහොත් වෛද්‍ය පීඨවල දක්‍ෂ සිසුන්ට අත්වන ඉරණම සම්බන්යෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවධානය යොමුකර තිබේද...? (වෛද්‍ය පීඨ ආචාර්ය මහාචාර්යවරුන්ගේ නම් රැසක්‌ දැනටම ඔවුන්ගේ වෙබ් අඩවියට අන්තර්ගත කර ඇත.) සිසුන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට කලින් .Fදරුසටබ. මාලබේ ඒ සියල්ල හලා ක්‍ෂණිකවම .ඵඊඊS. වීම කෙතරම් සදාචාරාත්මකද? ඒ සඳහා අවසර දීම කෙතරම් යුක්‌ති සහගතද....? මාලබේ රැක ගනිමින් මහ ඉහළ තැනකට ඔසවන්නට ස්‌වේච්ඡාවෙන් හෝ කිසියම් බලපෑමක්‌ මත හෝ වළිකන ප්‍රතිපාදන කොමිෂන් සභාව රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් දරන ස්‌ථාවරය කුමක්‌ද? එහි පහසුකම් නංවාලමින් වැඩි සිසුන් ප්‍රමාණයක්‌ බඳවා ගන්නට මාලබේ රැකගැනීමේ මෙහෙයුම මෙන් ක්‍ෂණික මෙහෙයුමක්‌ ක්‍රියාවට නොගන්නේ ඇයි?

කෙසේ වුවද ප්‍රතිපාදන කොමිසමේ පූර්ණ එකඟතාව මත උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා මාලබේට එම්. බී. බී. එස්‌. උපාධි පිරිනැමීමේ අවසරය පිළිගන්නා ගැසට්‌ නිවේදනය නිකුත් කර ඇත. අංක 1701/19 දරන එම ගැසට්‌ නිවේදනයට අනුව සිය කටයුතු පවත්වාගෙන යැමේ නීත්‍යනුකූල අයිතිය දකුණු ආසියානු වෛද්‍ය හා තාක්‍ෂණ ආයතනයට හිමි වී තිබේ. ගැටලුව වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය නොලද ඒ ආයතනයට නීත්‍යනුකූල තත්ත්වයක්‌ හිමිවීමය. සිසුන්ගේ සායනික පුහුණුව සඳහා රජයේ රෝහලක්‌ සොයාගැනීමට නොහැකි ඒ ආයතනයට නීත්‍යනුකූල තත්ත්වයක්‌ හිමිකර දීමය. සියල්ල නීතියට පිටින් සිදුවී ඇතැයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. සියල්ල පූර්ණ දේශපාලන අනුග්‍රහය මත සිදුවී ඇතැයි කිවහොත් එය ද අතිශයෝක්‌තියක්‌ නොවේ. විදේශ වෛද්‍ය උපාධිධාරීන්ට ශ්‍රී ලංකාවේ සේවය කිරීම සඳහා සමත් විය යුතු විභාගයට පෙනී සිටීමට ද මාලබේ සිසුන්ට අවශ්‍ය නැත. ඉදිරියේදී විදේශ වෛද්‍ය උපාධිධාරීන්ද විභාගයකින් තොරව ශ්‍රී ලංකාවේ සේවය කිරීමට අවස්‌ථාව දෙන්නැයි ඉල්ලා සිටිය හොත් උද්ගත විය හැකි තත්ත්වය කුමක්‌ද? මාලබේ සිසුන්ට ඒ විභාගය අනවශ්‍ය නම් විදේශ වෛද්‍ය උපාධිධාරීන්ටත් එය අනවශ්‍ය යෑයි තර්ක කළ නොහැකිද.......?

උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ගැසට්‌ නිවේදනයෙන් කරන්නේ සියලු අවශ්‍යතා සපුරාලීමෙන් පසුව වෛද්‍ය විද්‍යාලයේ උපාධිය පිළිගන්නා බවය. එවිට වර්තමානයේ එහි අධ්‍යාපනය ලබන සිසුන්ට ඇති වන තත්ත්වය කුමක්‌ද.........? ඔවුන් රුසියාවට ගොස්‌ උපාධිය සම්පූර්ණ කළ යුතු යෑයි එස්‌.බී. දිසානායක ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලය ගැන නොදන්නා බව නොව් ගොරෝද් ඇකඩමිය ප්‍රකාශ කර ඇති අවස්‌ථාවක මෙහි සිසුන් යා යුත්තේ කොහේ දැයි ඇමැතිවරයාම තීරණය කළ යුතුය.



උපුටා ගැනීම "දිවයින" (නිලන්ත මධුරාවල)

ත්‍රීමා අයියා

1988 ඔක්තෝබර් 22 ඝාතනයට ලක් විය, රාගම පෞද්ගලික වෛද්‍ය විද්යාලයට එරෙහිව සටන් වැදුනේය, මෙහි අවසන් ජයග්‍රාහී ප්‍රථිපලය වූයේ එය රජයට පවරා ගැනීමය. චිත්‍ර ශිල්පියෙකි අංකුර කවියෙකි, ශිෂ්ය ක්‍රියාකාරී කමිටුව තුළින් මතු වූ නායකයෙකි. අනෙක් අය අතර වෙනුර, සරත් කොල්ලුරෙ අතුලු අය වූහ. පියා අධිකරණ ක්ෂේත්‍රයේ රැකියාවක් කලේය. ඔක්තෝබර් 22 පැහැරගෙන ගොස් එදින රාත්‍රියේ ඝාතනය කර වැල්ලවායේ දමා ගොස් තිබුණි.

1. පසුව වළ දැමූ මළැ සිරුරු නන්ද එල්ලාවල මැදිහත් වීමෙන් 24 වනදා ගොඩ ගනු ලැබීය.

2. මරණය සම්බන්ධයෙන් සුසන්තපුංචි නිළමේ අත් අඩංගුවට ගත් අතර, සාක්ෂි නැති කමින් චූදිතයෝ නිදහස් වූහ.

ත්‍රීම විතරනගේ දේහය කොළඹ වෛද්‍ය පීඨයේ තැන්පත් කර තිබූ අතර අවමංගල්‍ය උත්සවය සඳහා ලක්ශ තුනකට ආසන්න පිරිසක් එක් වූහ. රාගම වෛද්‍ය විද්යාලයේ මිය ගිය ත්‍රීම ඇතුළු වෛද්‍ය ශිෂ්‍යැ නායකයන් වෙනුවෙන් සමරු ඵලකයක් 2000 සැප්තැම්බර් 25 වන දා නිරාවරණය විය, ශෝකයට පත්වීමට ඇති කරුණ නම් එවන් නායක ශිෂ්‍යයෙක් වෙනුවෙන් කොළඹැ වෛද්‍ය පීටයේ කිසිඳු සටහනක් නොමැති වීමය,


 

පත්මසිරි ත්‍රිමවිතරණ

 

වැල්ලවායේදී හමු වූ පුළුස්සා දමන ලද පත්මසිරි ත්‍රිමාවිතාරනගෙ දේහය, කන් වලට සහ හිසට අඟල් 6ක් පමණ දිග පරාල ඇණ ගසා මරාදමා තිබුණි, අනේක වූ වද වේදනා විඳිමින් ඔවුන් අපට රාගම වෛද්‍ය පීඨය දිනා දුන්හ. ඒ කැපකිරීම ඉතිහාසයට එක්වී වැළැලී යාමට ඉඩ දී බලා සිටීම නිවැරදි දෙයක් දැයි අප හෘද සාක්ශියෙන් ප්‍රශ්ණ කළැ යුතුය.

වෙනුර අයියා

                                            

කොළඹ වෛද්‍ය විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකි. පෞද්ගලික වෛද්ය විද්‍යාලයට එරෙහිව කළ ප්‍රදාන සටනේ නියමුවෙකි. මාදම්පේ මහා විද්‍යාලයෙන් අධ්යාපනය ලබා රාජකීය විදුහලට ඇතුළත් විය.එ රාජකීය විද්‍යාලයෙන් ඇතුළත් වූ කණ්ඩායමේ ඉහලම ලකුණු ලබා ගනිමිනි.පොහොසත් පවුලක උපත නොළැබූ හෙතෙම පුත්තලම ප්‍රදේශයේ පදින්චි කරුවෙකි. නීති - වෛද්‍ය ශිෂ්‍ය සංවිදාන කමිටුවේ සභාපතිවරයා වශයෙන් ප්‍රතම වසරේදීම පත් විය,

වෙනුර එදිරිසිංහ 1989 සැප්තැම්බර් 12 වන දින ඝාතනයට ලක් විය. මිය යන විට ජාතික ශිෂ්ය සංවිදානයේ කැඳවුම් කරුවා විය. ඝාතනයට පෙර අත් අඩංගුවේ රඳවාගෙන වධ දී ඇඟිලි කීපයක්ම කපා දමන ලදී. ඔහු තම රුධිරය වැගිරෙන ඇඟිලි වලින් සිරකුටියේ මෙසේ ලියා තිබුනේලු.
මතු පරපුරේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි සටන් වැදුනෙමු, නිදහස් අධ්‍යාපනය දිනේවා...!

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ අතීතාවර්ජනය



ශ්‍රී ලංකාව යනු සංවර්ධිත රටක් නොවේ. සංවර්ධනය වෙමින් පවතින රටකි. නමුත් එවන් සංවර්ධනය වෙමින් පවතින අන් රටක දක්නට නොලැබෙන අන්දමේ ඉහළ සාක්ෂරතාවයකින් හෙබි බුද්ධිමත් ජනතාවක් මෙන්ම නිරෝගී ජනතාවක් ලංකාව සතුය. කරුණු කාරණා විචාරශීලීව බැලීමේ දී පෙනීයන සැබෑ සත්‍යය වනුයේ යථෝක්ත කරුණු කාරණා කෙරෙහි එක එල්ලේ බලපා ඇත්තේ ලංකාව තුළ නිදහස් අධ්‍යාපනයක් හා නිදහස් සෞඛ්‍ය සේවාවක් පැවතීම බවය.

    අනාගත සංවර්ධනය උදෙසා නිදහස් අධ්‍යාපනය ඉවහල් වන ආකාරය දුටු ලාංකීය දේශපාලනයේ බුද්ධිමත් චරිතයක් වූ සී.ඩබ්.ඩබ්.කන්නන්ගර විද්වතාණන් ලංකාව තුළ නිදහස් අධ්‍යාපනය ස්ථාපනය කිරීමේ යෝජනාව ගෙන ආවේය. අධිරාජ්‍ය ගැති ඉහළ පංතියේ මැති ඇමතිවරුන්ගේ හා ඉහළ නිලධාරීන්ගේ විවේචන හා විරෝධතා මත වුවද එම යෝජනාව සම්මත වී ලංකාවේ සතර දිග්භාගයේ වෙසෙන දරුවන්හට නිදහස් අධ්‍යාපනයේ සම අයිතිය හිමි විය. ගොවි, කම්කරු ආදී ලෙස වර්ගීකරණය කර ලංකාවේ ශ්‍රම බලකාය බවට පමණක් පත්කොට තිබූ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් හට ද වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ ආදී ඉහළ ධනපති පංතියට පමණක් සීමා වී තිබූ රැකියාවල නිරතවීමේ ඉඩ ප්‍රස්ථා විවර විය. තම දෙමව්පියන්ගේ දහඩිය කඳුළුවලට පිංසිදුවන්නට එවැනි වෘත්තියක් කරා ආ එම දරුවන් හට තමන්ගෙන් රටට ඉටුවිය යුතු සේවාව පිළිබඳ මනා අවබෝධයක් විය. තමා ලැබූ නිදහස් අධ්‍යාපනයට කෘතගුණ සැලකීමක් ලෙස තමාගේ අවංක සේවය රටට ලබාදිය යුතුය යන වගකීම ඔවුන් තුළ විය. එබැවින් ඔවුන් නියැලුණු වෘත්තියන්ගේ ගුණාත්මකභාවය ද ඉහළ විය. ලංකාවට ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ද උරුම විය.

    එහෙත් සංවර්ධිත රටවල් හා බැදුණු විජාතික බලවේග ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටක් දියුණු වනු දැකීම කිසි විටකත් අපේක්ෂා නොකළහ. ඔවුන්ගේ නිෂ්පාදිත වෙළඳාම් කිරීමට නම් තුන්වෙනි ලෝකයේ රටවල්, තුන්වෙනි ලෝකයේ රටවල් ලෙසම පැවතිය යුතුය. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය ශ්‍රම බලකාය අඩු මුදලකට ලබා ගැනීමටද තුන්වෙනි ලෝකයේ අධ්‍යාපනය අහිමි නූගත් ජනතාවක් සිටිය යුතුය. එහෙයින් ඔවුන් ඒ සඳහා ඇම වශයෙන් යොදාගත් දේශද්‍රෝහී ලාංකිකයන් එදා සිටම අර ඇද්දේ මෙකී නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය ලංකාව තුළින් අතුගා දමමින් විජාතික බලවේගවල මනදොල සංසිදවීමටය. මන්ද ලංකාව තුළ සංවර්ධනයෙහිලා නිදහස් අධ්‍යාපනය සෘජුව බලපාන්නේ යම් සේද ලංකාවේ සංවර්ධනය ඇදවැටීමෙහි ලා එම කප්පාදු කිරීම සෘජුවම බලපාන බව එකී විජාතික බලවේග අවබෝධ කරගෙන සිටියේ ය. එබැවින් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ අභිලාෂය ඔවුන් සතු විය.

    මෙය හොදින් විද්‍යාමාන වන මුල්ම අවස්ථා ලෙස 1981 වසරේ දෙසැම්බර්යේ දී එවකට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහන් ධවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දැක්විය හැකිය. එම අධ්‍යාපනික ධවල පත්‍රිකාවේ වගන්ති ක්‍රියාත්මක විණි නම් ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් ඉතිරි නොවන බව නොඅනුමානය. එය මුළුමනින්ම පෞද්ගලික අංශයේ ව්‍යාපාරික බූදලයක් වනු නිසැකය. නමුත් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ප්‍රමුඛ මහජන බලවේගවල දැඩි විරෝධතා හමුවේ අධ්‍යාපන ධවල පත්‍රිකාව හකුලා ගැනීමට එවකට පැවති රජයට සිදු විය.

    ඔවුන්ගේ ඊලග වෑයම ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය විය. මන්ද “පාසලත්, විශ්ව විද්‍යාලයත් අතර විශාල වෙනසක් තිබෙනවා. විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නේ වැඩිහිටි සිසුන්. ලෝකයේ ගමන් මග වෙනස් කරන්නේ විශ්ව විද්‍යාල වලින් පමණයි.” (මහාචාර්ය විශ්වා වර්ණපාල, උසස් අධ්‍යාපන ඇමති, පිටු අංක 05, ලංකාදීප, 2009 පෙබරවාරි මස 04 වන බදාදා.) ඔවුන්ට අවශ්‍ය වූයේ එකී ගමන්මග වෙනස් කරන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තුළට සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාවට ඇතුළු වීමේ ඉඩ ප්‍රස්ථාව අහිමි කරවීමයි. ඒ සඳහා සුදුසුම මාර්ගය උසස් අධ්‍යාපනයට මුදලක් නියම කිරීම බව තේරුම් ගත් අත්තනෝමතික පාලක පංතිය ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල හඳුන්වාදීමේ සූක්ෂම වැඩපිළිවෙලකට අතපෙවූහ. මන්ද එතුළින් අහිමි වන ඉඩ ප්‍රස්ථාව තුළ ගොවි, කම්කරු දෙමව්පියන්ගේ දරුවන් ද, ගොවි කම්කරුවන් ලෙසම තබා ලංකාව නැටවීමේ නූල ඔවුන් අතට ගැනීමේ හැකියාව ලැබෙන බැවිණි.

    මේ කරුණු කාරණා මත 1981 වසරේ දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරටට හඳුන්වා දීම ක්‍රියාත්මක විය. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (NCMC)  නම්න් රාගම ශික්ෂණ රෝහල අසල රජයේ ඉඩමක ඇරඹි මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, වෛද්‍ය උපාධිය මුදලට විකිණීම රාජ්‍ය අනුග්‍රහය යටතේම ක්‍රියා කරවන්නට යෙදුනි. අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබා වෛද්‍ය පීඨයට ඇතුළු වීමට ලාංකීය නිදහස් අධ්‍යාපනය භුක්ති විදින ඕනෑම සිසුවෙකුට තිබූ අවස්ථාව පුද්ගලයෙකුගේ ආර්ථික හැකියාව මත තීරණය කරන්නට යෙදුණි.

    එහෙත් එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වැඩි කලක් කරළියේ රඟන්නට අවස්ථාව නොලැබුණි. මන්ද ලාංකීය නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳි ලාංකික දූ පූතුන්ගෙන් සැදුම් ලත් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැන්ත සිසු විරෝධතාවයක් දියත් කළේය. එම අරගල මර්දනය කිරීමට එවකට පැවති ඒකාධිපති රජය ක්‍රියාත්මක වූ අතර ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හැරියේය. තරුණ ජීවිත දහස් ගණනක් රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරක්ව රටට අහිමි විය. වෙනුර එදිරිසිංහ, ත්‍රීමා විතාරණ වැනි ලක්මවගේ ශ්‍රේෂ්ඨ දූපුතුන් ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරකිනු වස් තම දිවි පූජා කළහ. මෙකී ලේ වැගිරීම් දිවි තොර කිරීම් හමුවේ වුව ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ජය ගත්තේ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාගම වෛද්‍ය පීඨය නමින් කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව ජනසතු කර ගැනීමෙනි.

    නමුත් යථෝක්ත විජාතික බලවේගද ඔවුන්ගේ ලාංකික හෙන්චයියන් ද එයින් නිහඩ වූයේ නැත. මන්ද ඔවුන්ගේ අභිලාෂයන් මුදුපත් කර ගැනීමේ දීන ආශාව තුළ දහසකුත් බලාපොරොත්තු, වූ බැවිණි. එබැවින් ඔවුන් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඊලග පියවරට අතගැසුවේය. ලංකාව තුළ පෞද්ගලික පාසල් බිහි කිරීම තුළින් ලංකාවේ නිදහස් අධ්‍යාපනයට ඉඩ ප්‍රස්ථාව අහිමි කිරීම ඔවුන් ගේ ඊලග පියවර විය. එතුළින් ලාංකීය සංස්කෘතිය ද සදාචාරය ද පිරිහීමේ ලක්ෂ්‍යයක් ඇති විය. එමෙන්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංකල්පය ද නැවත නැවතත් හිස එසවූයේය. එහි අවස්ථාවන් ලෙස විමසා බැලීමක් කළ හොත්ත

01.    1981 යාපනයේ “උතුරු ලංකා” පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය

02.    1997 දී එංගලන්තයේ “ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය”ට අනුබද්ධිතව නාරාහෙන්පිට පිහිටු වීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය. 

03.    1999 දී ඉන්දීය  “රාමචන්ද්‍රන් විශ්ව විද්‍යාලය” ට අනුබද්ධිතව පිහිටුවීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය.

04.    2002 දී “ටැන්සානියාවේ විග්නන් විශ්ව විද්‍යාලය” ට අනුබද්ධිතව පිළියන්දල පිහිටු වීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය.

05.    2005 දී ඉන්දියාවේ “විනයාකමිෂන්” පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ලංකාවේ OASIS පෞද්ගලික රෝහල සමග පිහිටුවීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය. 

06.    2006 දී “විග්නන්” පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නැවත පිහිටුවීමට උත්සාහ කිරීම (මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන්)


    මේ සියළු අවස්ථාවලදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වශයෙන් ඒකරාශී වූ ලාංකීය වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාව එයට විරුද්ධව ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙය විය. අනෙකුත් ශිෂ්‍ය බලවේග වෘත්තීය සමිති, පොදු ජන සංවිධාන හා ජනතාවගේ සහයෝගය ලබා ගනිමින් එම සියළු අවස්ථාවලදී ජයග්‍රහනය ලැබීමට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සමත් විය. 1981 හා 1991 අතර කාලයේ දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීමටත් එමෙන්ම අධ්‍යාපනය පෞද්ගලීකරණයටත් එරෙහිව හඩ නගා රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරක්ව රටට අහිමි වූ ඒ අතීත විරු සිසු සිසුවියන් මෙරට සමාජ දේහය තුළ ඇති කළ කම්පනය තවමත් නොනැසී පවතින බව අපට වැටහෙන්නේ පසුකාලීනව ඇරඹීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය අරගලය නිසා ඉක්මනින්ම හකුලාගත් නිසාය. අප අද භුක්ති විදින නිදහස් අධ්‍යාපනය අපට රැක දුන්නේ එම විරු සිසුන් බව අප අදටත් සිහි කළ යුතුය.

    එහෙත් විජාතික බලවේග ද තවමත් අධෛර්යමත් වී නැත. ඔවුන්ගේ නවතම අභිලාෂය වී ඇත්තේ මාළඹේ නගරයට යාබදව නව නුවර පාර මාළඹේ යන ලිපිනයේ South Asian Institute of Technology and Management යන නමින් ස්ථාපනය කර ඇති පෞද්ගලික විශ්ව විද්‍යාලයයි. එහි Nishny Norgorod State Academy of Medicine යනු රුසියානු උසස් අධ්‍යාපන ආයතනය හා එක්ව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අරඹා තෙවන ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගනිමින් පවතී.

    විජාතික බලවේග ද දේශද්‍රෝහී කැණහිලුන් ද නිදහස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරමින් තම දීන පරමාර්ථයන් මුදුන් පත් කර ගැනීමට වෙර දරන්නේ යම් සේද ඔවුන් සිහියේ තබාගත යුතු දෙයක් ඇත. එනම් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය තවමත් අවදියෙන් ඇති බවය. ලේ වැගිරීම් දිවි තොර කිරීම් හමුවේ වුව නිදහස් අධ්‍යාපනය උදෙසා පෙළ ගැසී ඇති, අතීත විරුවන්ගේ අඩිපාරේ යන වර්තමාන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයක් ඇත. මින් එක් පාර්ශවයක් ලෙස වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇත. එදා මෙන්ම අදත් බහුතර ජනමතය අප සමගය. තම දුවා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය පිළිබඳ මනා වැටහීමක් ඇති තම මුදලින් ලාංකීය නිදහස් අධ්‍යාපනය පෝෂණය කරන සැබෑ ලාංකික ප්‍රජාව තවමත් අප සමගය. ඉදින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යනු ලාංකීය අවශ්‍යතාවයක් නොව ආත්මාර්ථකාමී යම් රූකඩ චරිත හා පාර්ශව වල පෞද්ගලික අවශ්‍යතාවයක් වන බව අප ද මහජනතාව ද තේරුම්ගෙන හමාරය. තම දෙපා මහපොළව මත ඇති බවද තමාට ලක්බිමේ සෙනෙහස දැනෙන බවද පවසන ලාංකික දේශපාලනයට ද ලංකාවේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ සැබෑ කැක්කුමක් නැති බව පෙනෙන්නේ විජාතික බලවේග හමුවේ ඔවුන් රූකඩ වී ඇති නිසාම ද නොඑසේ නම් රටට පෙර තමා ගැන සිතන නිසාම ද? යන්න අපහට මෙතෙක් නොවැටහෙන කරුණකි.

    කෙසේ නමුදු අප හා මේ වන විට එක්ව ඇති සියළුම වෛද්‍ය සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් පෙරටු කොට ගත් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සහ  මහජන බලවේග හමුවේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලය ද සිහිනයක් මිස යථාර්ථයක් නම් නොවන්නේමය